ඉන්දියාවේ අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් ඉල්ලා අස්විය යුතු බවට ඉල්ලමින් නවදිල්ලියේ පැවැත්වෙන විරෝධතා තවදුරටත් උණුසුම් වී තිබෙනවා.
ඊයේ (22) පස්වරුවේ විරෝධතාකරුවන් සහ පොලීසිය අතර ගැටුම්කාරී තත්ත්වයක් ඇති වූ අතර, පිරිස පාලනය කිරීම සඳහා පොලීසිය කඳුළු ගෑස් සහ බැටන් ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
මෙම විරෝධතා ආරම්භ වී ඇත්තේ පසුගිය මැයි මාසයේ සිසුන් මිලියන දෙකකට ආසන්න පිරිසකට බලපෑ විභාග ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා වගකීම භාරගෙන ඉල්ලා අස්විය යුතු බවට ඉල්ලමින්.
“Cockroach Movement” ලෙස හැඳින්වෙන මෙම තරුණ ව්‍යාපාරයට දස දහසකට අධික පිරිසක් එක්ව සිටින අතර, විරෝධතාකරුවන්ගෙන් පිරිසක් පොලීසිය වෙත ගල් සහ බෝතල් ප්‍රහාර එල්ල කිරීමෙන් පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු තුවාල ලබා තිබෙනවා.
පවතින නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් නවදිල්ලිය මධ්‍යයේ පිහිටි මෙට්‍රෝ දුම්රිය ස්ථාන 16ක් වසා දැමීමට ද බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
මේ අතර, විපක්ෂ නායක රාහුල් ගාන්ධි ඇතුළු විපක්ෂය ද විරෝධතාවට සහාය පළ කර ඇති අතර, අධ්‍යාපන අමාත්‍යවරයා ඉල්ලා අස්වන තෙක් අරගලය නතර නොකරන බව විරෝධතා සංවිධායකයන් අවධාරණය කර තිබෙනවා.
විරෝධතා හමුවේ මෝදි රජය සංවිධායකයන් සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති අතර, විභාග පද්ධතියේ ප්‍රතිසංස්කරණ සිදු කරන බවට ද පොරොන්දු වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළා.







Leave a Reply