Loading...

මධ්‍යම අධිවේගී කඩවත – මීරිගම කොටසට යළි චීනයෙන් මූල්‍ය සහාය – අලුත් ගිවිසුමක් ළඟදීම

මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත–මීරිගම කොටස සඳහා චීන රජයේ මූල්‍ය සහාය යළි ලබාදීම සම්බන්ධ සංශෝධිත ගිවිසුමක් කඩිනමින් අවසන් කිරීමට ශ්‍රී ලංකාව සහ චීනය එකඟ වී ඇති බව වාර්තා වනවා.

ඒ අනුව ඉදිරි සති කිහිපය තුළ ව්‍යාපෘතියේ ඉදිකිරීම් නැවත ආරම්භ කරනු ඇති.

චීන අපනයන – ආනයන බැංකුවේ (China EXIM Bank) උප සභාපති යැං ඩොංනිං මහතාගේ නායකත්වයෙන් යුත් ඉහළ පෙළේ නියෝජිත පිරිසක් මේ සතියේ මෙරටට පැමිණ, මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා සහ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ඇතුළු රජයේ නියෝජිතයන් සමඟ සාකච්ඡා පවත්වා තිබෙනවා.

මෙම සාකච්ඡාවලදී ව්‍යාපෘතියට අදාළ සංශෝධිත මූල්‍ය ගිවිසුමේ කොන්දේසි, ප්‍රමාද වීම හේතුවෙන් ගෙවීමට සිදුව ඇති දඩ මුදල්, සහ රුපියලේ අවප්‍රමාණය හේතුවෙන් ඉහළ ගොස් ඇති වියදම් සඳහා සහනදායී විසඳුම් පිළිබඳව අවධානය යොමු කර ඇති බව සඳහන් වනවා.

සාකච්ඡා සාර්ථකව අවසන් වී ඇති අතර, සංශෝධිත ගිවිසුම සඳහා චීන EXIM බැංකුවේ තවත් නියෝජිත පිරිසක් මේ මාස අවසානයේදී යළි මෙරටට පැමිණීමට නියමිතයි.

මෙම ව්‍යාපෘතිය සඳහා චීන EXIM බැංකුව ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක් සහ ශ්‍රී ලංකා රජය ඇමෙරිකානු ඩොලර් මිලියන 438ක් වශයෙන් මූල්‍ය දායකත්වය ලබාදෙනවා.

කිලෝමීටර් 37ක් දිග කඩවත – මීරිගම කොටසේ ඉදිකිරීම් 2022 වසරේ සිට අත්හිටුවා තිබූ අතර මේ වන විට එහි සියයට 51ක පමණ කටයුතු අවසන් කර තිබෙනවා.

ඉදිකිරීම් නැවත ආරම්භ කළ පසු මෙම වසර අවසන් වන විට සියයට 65ක් දක්වාත්, 2027 වසර අවසානය වන විට සියයට 90–95 අතර ප්‍රගතියක් ලබාගැනීමටත්, ඉතිරි ඉදිකිරීම් 2028 වසරේදී නිම කිරීමටත් රජය අපේක්ෂා කරනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *