හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය නියෝග කර තිබෙනවා.
විදෙස් සංචාරයකදී රජයේ මුදල් අවභාවිතා කළ බවට එල්ල වූ චෝදනා මත හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (22) දහවල් අත්අඩංගුවට ගනු ලැබුවා.
ඒ අදාළ චෝදනා පිළිබඳව ප්‍රශ්න කිරීම සඳහා එම දෙපාර්තමේන්තුව හමුවට කැඳවූ අවස්ථාවේදීයි.
මේ අනුව පස්වරු 3ට පමණ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට හිටපු ජනාධිපතිවරයා ඉදිරිපත් කෙරුණු අතර එම නීති කෘත්‍ය මීට සුළු මොහොතක් දක්වා සිදුවුණා.
ලක් ඉතිහාසයේ හිටපු ජනාධිපතිවරයෙක් අත්අඩංගුවට ගත් පළමු අවස්ථාව මෙය විශේෂත්වයකි.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ධූර කාලයේ දී එනම් 2023 වසරේ සැප්තැම්බර් 22 සහ 23 එක්සත් ජාතීන්ගේ සම්මේලනයට සහභාගී වීම සඳහා අමෙරිකාවේ නිව්යෝර්ක් වෙත ගොස් තිබුණා.
අදාළ සංචාරය නිම කරමින් හිටපු ජනාධිපතිවරයා නැවත දිවයිනට පැමිණීමට පෙර ලන්ඩන් නුවරට ගොස් තිබුණේ සිය බිරිඳ වන මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ උපාධි ප්‍රධානෝත්සවයට සහභාගී වීම සඳහායි.
එම ආරාධනාව හිටපු ජනාධිපතිවරයාට හා ඔහුගේ බිරිඳට බ්‍රිතාන්‍යයේ වූල්වහැම්ප්ටන් විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ජෝන් රැෆ්ටර් විසින් ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය හරහා නිල වශයෙන් යොමුකර තිබුණා.
කෙසේ වෙතත් එම සංචාරයේ දී රජයේ මුදල් අවභාවිත කරමින් හිටපු ජනාධිපතිවරයා ඊට සහභාගී වී ඇති බව පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පුද්ගලයෙක් විසින් පැමිණිල්ලක් ගොනු කර තිබූ බවද පොලීසිය සඳහන් කළා.
මේ අනුව විමර්ශනයක් ආරම්භ කර එම දෙපාර්තමේන්තුව මඟින් හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගෙන් සහ රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික සහකාර සැන්ඩ්‍රා පෙරේරා මහත්මියගෙන් ද පසුගිය දා ප්‍රකාශ ලබාගෙන තිබුණා.
පසුව ඒ මහතාව අද (22) දිනයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇති බව සඳහන්.
ඒ අනුව ඔහු අද (22) පෙරවරු 9ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටියා.
මෙහිදී පැය 4ක පමණ කාලයක් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසුව හිටපු ජනාධිපතිවරයා අද (22) දහවල් 1.15ට පමණ අත්අඩංගුවට ගනු ලැබුවා.
අනතුරුව ඒ මහතාව දහවල් 3ට පමණ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර එම අවස්ථාවේ දී විපක්ෂ මන්ත්‍රී ඇතුළු ඔහුගේ ආධාරකරුවන් රැසක් අධිකරණ භූමියට පැමිණ සිටියා.
එම අවස්ථාවේ දී කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණ හිටපු ජනාධිපතිවරයා අදාළ නීති කෘත්‍ය කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය ඉදිරියේ කැඳවනු ලැබුවා.
සැකකාර හිටපු ජනාධිපතිවරයා අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ දී පැමිණිල්ල වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පිරීස් මහතා කරුණු දැක්වීමක් සිදු කළා.
මෙහිදී අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පැවසුවේ 2025.03.17 වන දින වී.එස් කරුණාරත්න නම් පුද්ගලයෙකු ජනාධිපතිවරයාට සිදුකළ පැමිණිල්ලකට අනුව ජනාධිපති කාර්යාලයේ අභ්‍යන්තර විමර්ශනයක් සිදුකර ඉන් අනතුරුව 2025.05.23 වන දින මෙම සිදුවීම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරයා විසින් පොලිස්පතිවරයාට පැමිණිල්ලක් සිදුකර ඇති බවයි.
එම සිදුවීම නම් හිටපු ජනාධිපතිවරයා ධුරය දරන සමයේ දී 2023.09.13 වනදා දින සිට 20 වනදා දක්වා කියුබාවේ හා අමෙරිකාවේ නිල සංචාරයක නිරත වී ඉන්පසුව 2023.09.22 හා 23 යන දිනවලදී නිල සංචාරයක් යැයි කියාපාමින් පෞද්ගලික සංචාරයක නිරත වීම තුළ රජයේ මුදල් අවභාවිතයක් සිදුව ඇති බවද ඔහු මෙහිදී පෙන්වා දී තිබෙනවා.
මේ අනුව අදාළ සිදුවීම පිළිබඳව සාක්ෂිකරුවන් 33න් දෙදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසුව මෙරට 8 වන විධායක ජනාධිපතිවරයා වන රනිල් වික්‍රමසිංහ මහතා සැකකරුවෙකු ලෙස නම් කරමින් අත්අඩංගුවට ගත් බව දිලීප පීරිස් මහතා සඳහන් කළා.
මෙහිදී කරුණු පැහැදිලි කිරීමක් සිදු කළ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා,
” ස්වාමීනි, රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස 2023.09.13 සිට 20 දක්වා කියුබාවේ සහ අමෙරිකාවේ නිල සංචාරයක යෙදී තිබෙනවා. ඉන් අනතුරුව 22වන දින එංගලන්තයේ වුල්ෆ්හැම්ටන් විශ්ව විද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගීවී තිබෙනවා. ඒ වික්‍රමසිංහ මැතිණියට ගෞරව උපාධියක් ලැබීමේ අවස්ථාවකටයි. මෙම ප්‍රශ්නගත සංචාරය සඳහා ජනාධිපති කාර්යාලයේ සහ පොලිසියේ නිලධාරීන් ඇතුළු 10 දෙනෙකුගේ කණ්ඩායමක් සහභාගීවී තිබෙනවා. එහිදී දින දෙකක කාලයක් තුළ වියදම් කර ඇති සමස්ත මුදල රුපියල් ලක්ෂ 166ක්. එහිදී එම මුදල ගෙවීම සිදුකර ඇත්තේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් රුපියල් ලක්ෂ 133ක් සහ පොලිසිය සහා නාවික හමුදාව එක්ව රුපියල් ලක්ෂ 32කට වැඩි මුදලක් වශයෙන්. මෙහිදී විශේෂයෙන් අවධානය යොමුකළ යුතුයි 2023 අගෝස්තු 16 වනදා තමයි මෙම සංචාරයට අදාළ පළමු ලේඛනය අපට හමුවන්නේ. එහි සඳහන්වන්නේ මෙය පෞද්ගලික සංචාරයක් කියලා. නමුත් 9වන මස 7 වනදා වෙද්දි එකී පෞද්ගලික සංචාරය කියන එක නිකම්ම නිකන් විසිට් එකක් බවට පත්වෙනවා. මේ සංචාරය ගිහින් ආවට පස්සේ මෙම ලේඛනවල සඳහන්වෙන්නේ එය නිල සංචාරයක් කියලා. කවුද මේවා සංශෝධනය කළේ කියන එක බරපතළ ප්‍රශ්නයක්.අපි මෙම සැකකරුගේ එවකට පෞද්ගලික ලේකම්වරියව සිටි සැන්ඩ්‍රා පෙරේරාගෙන් ප්‍රශ්න කරපුවම ඇය කිව්වා, පළමුව තමන් සිතාගෙන සිටියේත් මෙය පුද්ගලික සංචාරයක් කියලා නමුත් පසුව ජනාධිපතිවරයා ලෙස සැකකරු කිව්වා එය පෞද්ගලික සංචාරයක් නොවේ කියලා. මේ සම්බන්ධයෙන් එවක ජනාධිපති ලේකම් සමන් ඒකනායකගෙන් සිදුකළ ප්‍රශ්නකිරීම්වලදී ඔහු කිව්වේ ජනාධිපතිවරයා සාමාන්‍යෙයන් දුර ගමන් යද්දි, ඩුබායි, දෝහා වගේ රටවල්වලට යද්දි එක් දිනයක් විවේකීව ගතකරනවා, එම විවේකී දිනය ලෙස ලන්ඩනය තෝරාගෙන ඇති බව සිතා තමන් මුදල් අනුමත කළා කියලා.මෙම ප්‍රශ්නගත සංචාරයට සැකකරුට ආරාධනා ලැබී ඇත්තේ පෞද්ගලික විශ්වවිද්‍යාලයකින්, මෙය නිල සංචාරයක් බවට පත්වන්න නම් අනිවාර්යයෙන්ම බ්‍රිතාන්‍ය රජයෙන් මේ සදහා ආරාධනාව ලැබිය යුතුය.ප්‍රශ්නගත සංචාරය සම්බන්ධයෙන් මෙම සැකකරුගෙන් ප්‍රශ්න කළාම ඔහු කියනවා නිල සහ පෞද්ගලික කියලා දෙවර්ගයක් නැහැ ඕනෑම සංචාරයකට රාජ්‍ය මුදල් භාවිත කරන්න පුළුවන් කියලා.”
මෙම සංචාරයේ දී වියදම් සිදුව ඇති ආකාරය සම්බන්ධවද ඔහු කරුණු පැහැදිලි කිරිමක් සිදුකළා.
”ස්වාමිනි මේ කියන වුල්වහැම්ප්ටන් විශ්වවිද්‍යාලය තිබෙන්නේ ලන්ඩනයේ සිට කිලෝමීටර් 206ක වගේ දුරකින් එහෙම තිබෙද්දිත් ස්වාමිනී ඔහු නැවතී ඉඳලා තිබෙන්නේ ලන්ඩනයේ තිබෙන ලෑන්ඩ් මාර්ක් කියන සුඛෝපභෝගී හෝටලයේ ස්විට් එකක එතන ඉඳලා ස්වාමිනී ඔය කියන විශ්ව විද්‍යාලයට යන්නයි එන්නයි කිලෝමීටර් 400ක් පමණ තිබෙනවා. පස්සේ වුල්වහැම්ප්ටන් විශ්වවිද්‍යාලය අසලත් විනාඩි 5ක වගේ දුරකින් කාමර දෙකක් වෙන් කරලා තිබෙනවා.මෙහිදී සිදුකර තිබෙන වියදම් දෙස අවධානය යොමු කළොත් වාහන කුලීවලට ලක්ෂ 45ක්, ආහාරපාන සඳහා ලක්ෂ 3ක් නවාතැන් සඳහා ලක්ෂ 34ක්, අමුතන්ගේ පරිහරණය සඳහා ලක්ෂ 27ක් වගේ වියදම් සිදුකරලා තිබෙනවා. ස්වාමිනී මේ වියදම් සිදුකරලා තිබෙන්නේ මෙරට තුළ ඩොලර් හිඟයක් තිබෙනවා කියලා ශ්‍රේෂ්ඨාධිකරණයේ රට බංකොලොත්වීම සම්බන්ධයෙන් නඩු යන්නාවූ කාලය තුළයි. හරියටම කියනවනම් මේ කාලයේ මට බංග්ලාදේශයේ රාජකාරී ගමනක් යන්න සිදුවෙලා ඩොලර් 75ක් සොයාගන්නත් බොහෝ වෙහෙසුණා. මේ සංචාරයට ජනාධිපතිවරයා සමග එක් වූ පොලිස් නිලධාරියෙකුගේන සිදුකරපු ප්‍රශ්න කිරීමකදී ඔහු කියනවා ජනාධිපතිවරයා ලෑන්ඩ්මාර්ක් හෝටලයෙන් උපාධි ප්‍රධානෝත්සවයට යනවා හැරෙන්නට වෙනත් කිසිඳු අවස්ථාවක එලියට ආවේ නැහැ කියලා. ඒ කියන්නේ ඉතාමත් පැහැදිලියි මේ කාලවකවානුව තුළ ජනාධිපතිවරයා කිසිඳු ආකාරයක රාජ්‍ය නායකයෙකු හමුවකටවත් සම්බන්ධවුණේ නැහැ. ඒ කියන්නේ මේක සම්පූර්ණයෙන්ම පෞද්ගලික සංචාරයක්. මේක ස්වාමීනි හරියට දරිද්‍රතාවයෙන් පෙළුණු පවුලක් ජීවත්වෙන්න කැටයකට මුදල් එකතු කරලා අනිත් සාමාජිකයන්ට නොදී කැටේ මුදල් අරගෙන තනයම ගිහින් කෑවා බිව්වා වගේ වැඩක්.”
පසුව අතිරේක සොලිසිටර් ජනරාල්වරයා මෙම සැකකරුට එරෙහිව පොදු දේපල පනත යටතේ චෝදනා ගොනු කර ඇති බැවින් ඇප ලබාදීමට ප්‍රබල ලෙස විරුද්ධවන බවද සඳහන් කළා.
”ස්වාමිනි මේ නඩුවේ විමර්ශන තවදුරටත් අවසන් නැහැ. තව සැකකරුවන් අත්අඩංගුවට ගන්න තිබෙනවා. විශේශිතම කෙනෙක් තමයි ජනාධිපති ලේකම් ලෙස හිටපු සමන් ඒකනායක මහතා. මේ හිටපු ජනාධිපතිවරයාට නඩු පවරා තිබෙන්නේ පොදු දේපළ පනත යටතේයි. ඒ කියන්නේ අප ලබාගන්න සුවිශේෂී කරුණු දැක්වීමක් ඉදිරිපත් කරන්න ඕනේ. යුක්තියේ දෙවඟනගේ දෑස් වසා සිටිනවා වගේම කිසිඳු සැකකරුවකුගේ තරා තිරම බලන්නේ නැතුව නඩුවට ඉදිරිපත්වී ඇති සාක්ෂි හා කරුණු මත පමණක් පදනම්ව ඔබතුමියගේ තීරණ ගන්න කියලා මම ඉල්ලා සිටිනවා. ”
මෙහිදී හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් ජනාධිපති නීතිඥ නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දැක්වුවා.
”ජනාධිපති ලේකම් කාර්යාලය කරපු අභ්‍යන්තර විගණන වාර්තාවකින් මේ බව තහවුරු කරගත්තා කියලා පැමිණිල්ල කියනවා. නමුත් ස්වාමිනි ඔය සිදුවීමට අදාළව ජාතික විගණකාධිපති ඉදිරිපත් කරපු වාර්තාවක් මම ඔබේ අධිකරණයට ඉදිරිපත් කරනවා. ඒ වාර්තාවෙන් මේ කිසිවක් සනාථ වන්නේ නැහැ.අද මේ නඩුව දාන්න පුළුවන් වෙලා තියෙන්නෙත් සැකකරු ජනාධිපති වෙලා ඉද්දී ජනපති විනිර්මුක්තිය අහෝසි කරපු නිසා. නමුත් නඩු දාන්න වුණත් හේතුවක් තියෙන්න ඕනේ. මේක ද්වේශ සහගත ලෙස දාපු පදනම් විරහිත නඩුවක්. ස්වාමිනි එක එක කාලෙක එක එක්කෙනාට කඩේ යන යූ ටියුබර් කෙනෙක් කියලා තිබ්බා දවස් දෙකක් ඇතුළත රනිල් මහත්තයාව රිමාන්ඩ් කරනවා කියලා. කොහොමද එහෙම කියන්නේ?”
වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා,
”ස්වාමීන් මේ සැකකරුගේ සෞඛ්‍ය තත්ත්වය ගැන මම පැහැදිලි කිරීමක් කරන්න කැමතියි. මොහු වසර 7ක ඉඳලා හෘද රෝගී තත්ත්වයකින් පෙළෙනවා. ඒ වගේම ඔහුට පාලනය කළ නොහැකි දියවැඩියා තත්ත්වයක් තියෙනවා. ඔහුට අධිරුධිර පීඩනයත් තියෙනවා. ඊට අමතරව වෙනත් රෝග කිහිපයකටත් ඔහු ප්‍රතිකාර ලබනවා. මේ අවස්ථාව සුවිශේෂි නිසා ස්වාමීන් මෙතෙක් ශ්‍රී ලංකාවේ කවුරුත් දැනගෙන හිටිය නැති සුවිශේෂි කරුණක් මම අධිකරණයට ඉදිරිපත් කරන්න කැමතියි. ඒක තමයි මොහුගේ භාර්යාව පිළිකා රෝගයකින් සහ ආතරයිටීස් රෝගයකින් පෙළෙනවා කියන දේ. රටම දන්නා කරුණක් තමයි මොවුන්ට දරුවන් නැහැ. ඒ නිසා ඇයව ධෛර්යමත් කරන්න ඉන්නේ මොහු විතරයි. ඔවුන්ට ඉන්නේ ඔවුන් විතරයි. එයත් සුවිශේෂි කරුණක් ලෙස සලකන්න. ඒ වගේම බන්ධනාගාරය කියන්නේ හිටපු ජනාධිපති කෙනෙක්ට විශේෂ ආරක්ෂාව තියෙන තැනක් නෙවෙයි. ඒ වගේම මම සඳහන් කරන්න කැමතියි මොහුට අනිද්දා දිනයේ ඉන්දියාවේ පැවැත්වෙන කොමන් වෙල්ත් යූත් කවුන්සිල් එකට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙන්න තියෙනවා. මේ සියලු කරුණු සලකා බලා පොදු දේපළ පනත යටතේ වන සුවිශේෂි කරුණු සේ සලකා බලා මොහුව ඇප මත මුදා හරින්න කියලා මම අධිකරණයෙන් ඉල්ලා සිටිනවා.”
මෙහිදී කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය පැමිණිල්ලේ අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පිරීස් මහතාගෙන් විමසා සිටියේ විත්තිය විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද විගණන කාර්යාලයේ වාර්තාව පිළිබඳව කුමන අදහසක් දරන්නේ ද යන්නයි.
එයට පිළිතුරු දෙමින් ඔහු සඳහන් කළේ එම විගණන වාර්තාව පොදුවේ වර්ෂයකට අදාළව සිදුකරන ලද විගණන වාර්තාවක් වන බවත් නිශ්චිත කරුණට අදාළව සිදුකරන ලද විගණන වාර්තාවක් නොවන බවත්ය.
තමා විසින් අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ නිශ්චිත කරුණක් සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයේ අභ්‍යන්තරයේ සිදු කරන ලද විගණන වාර්තාවක් බව ද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා මෙහිදී පවසා සිටියා.








Leave a Reply