ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් ලබන මස 4 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මඩකලපුව මහේස්ත්‍රාත් හා දිසා විනිසුරු ඒ. තර්ෂිනී මහත්මිය අද (24) නියෝග කළා.
සැකකරු අද ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී තිබෙනවා.
2008 වසරේ මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක සිදුවූ මිනීමැරුම් පහක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පිල්ලයාන් ඇතුළු සැකකරුවන් කිහිපදෙනෙකුට එරෙහිව නඩු පවරා ඇති අතර, එම නඩුවලට අදාළ විභාග අද අධිකරණය හමුවේ කැඳවා තිබුණා.
ඒ අනුව, කල්ලඩි ප්‍රදේශයේ සිදුවූ ඝාතන පහ සම්බන්ධයෙන් ගොනු කර ඇති චෝදනා තුනක් සහ තවත් නඩුවකට අදාළ එක් චෝදනාවක් අද විභාගයට ගෙන තිබෙනවා.
එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සැකකරු ලබන මස 4 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළා.
මේ අතර, 2008 වසරේ සිදුවූ වෙඩි තැබීම් තුනක් සම්බන්ධයෙන්ද පිල්ලයාන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනම නඩු ගොනු කර තිබෙනවා.
ඒ යටතේ, මඩකලපුව කල්ලඩි මුරුගන් කෝවිල අසලදී හිටපු පොලිස් නිලධාරියෙකු ඇතුළු දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම, 2008 මැයි 22 වැනිදා පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම සහ එම වසරේ අගෝස්තු 20 වැනිදා වවුනියාව ප්‍රදේශයේදී සන්නද්ධ කණ්ඩායමක් විසින් පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනා ඇතුළත් බවයි වාර්තා වන්නේ.







Leave a Reply