සමාජීය, ආර්ථික සහ දේශපාලන යන සියලු ක්ෂේත්රයන්හි යහපත් පරිවර්තනයක් ඇති කරමින් සියලු ආගමික හා සංස්කෘතික අනන්‍යතාවයන්ට ගරු කරන, සමානාත්මතාවයෙන් සලකන රටක් ගොඩනැගිය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
දීපවාලි දිනය වෙනුවෙන් විශේෂ සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබෙනවා.
ආර්ථික හා සමාජයීය වශයෙන් යළි ශක්තිමත් වෙමින් ලෝකය හමුවේ සාමයේ සහ මනුෂ්‍යත්වයේ දිවයිනක් ලෙස ශ්‍රී ලංකාව ගොඩනැගීම සඳහා සියලු දෙනා එක්ව ගමන් කරන බවයි එම පණිවිඩයේ දැක්වෙන්නේ.
එම ජාතික ගමනේදී දීපවාලි දිනය වෙනුවෙන් දැල්වෙන පහන් සිලු තව තවත් ආලෝකමත් වේවායි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය සුබපැතුම් පණිවිඩයෙන් වැඩිදුරටත් ප්‍රාර්ථනා කර ඇත.
“අඳුර දුරලමින් ආලෝකය උදා කරන හින්දු ජනයාගේ උතුම් ආගමික උත්සවයක් වන දීපාවලි උත්සවය නිමිත්තෙන් මාගේ ශුභාශිංසන එක් කරන්නේ ඉමහත් සතුටිනි.
ක්‍රිෂ්ණා දෙවියන් නරගාසුරන් නමැති අසුරයා පරාජය කිරීම සිහිපත් කරමින්, අධර්මය පරදා ධර්මය ජය ගත් අයුරින් සියල්ලන්ගේ සිත්සතන්හි අඳුර දුරලා ආලෝකය පැතිරේවායි යන ප්‍රාර්ථනය පෙරදැරිව ලොව පුරා හින්දු බැතිමත්හු මෙදින ආගමික වතාවත්හි නිරත වෙති.
දීපාවලි සැමරුමේ සැබෑ අරුත වන්නේ හුදෙක් නිවෙස් පහන් ආලෝකයෙන් ඒකාලෝක කිරීමෙන් ඔබ්බට ගොස්, මිනිස් හදවත් තුළ ආදරය, කරුණාව, සහෝදරත්වය සහ මානවීය ගුණධර්මවල ආලෝකය දල්වාලීමයි. එහෙයින්, වෛරය වෙනුවට මෛත්‍රියත්, බෙදීම වෙනුවට සහජීවනයත්, අයුක්තිය වෙනුවට යුක්තියත් තෝරා ගනිමින්, වඩාත් යහපත්, සාධාරණ සහ සහකම්පනයෙන් පිරි සමාජයක් ගොඩනැඟීම සඳහා වන අපගේ අදිටන අලුත් කර ගැනීමට දීපාවලි උත්සවය අගනා අවස්ථාවක් සලසා දෙයි.
සමාජීය, ආර්ථික සහ දේශපාලන යන සියලු ක්ෂේත්‍ර තුළ යහපත් පරිවර්තනයක් ඇති කරමින්, සියලු ආගමික සහ සංස්කෘතික අනන්‍යතාවන්ට ගරු කරන, සියලු දෙනාට සමානාත්මතාවෙන් සහ ගෞරවයෙන් සලකන රටක් ගොඩනැඟීමේ මහඟු වගකීම වෙනුවෙන් අප මේ වන විට තිර අදිටනින් යුතුව කැපවී සිටිමු.
ආර්ථික සහ සමාජයීය වශයෙන් යළි ශක්තිමත් වෙමින්, ලෝකය හමුවේ ගෞරවාන්විතව නැඟී සිටින “සාමයේ සහ මනුෂ්‍යත්වයේ දිවයින” ලෙස ශ්‍රී ලංකාව ගොඩනැඟීම සඳහා අප එක්ව යන එම මාවත, මෙම දීපාවලියේ දැල්වෙන පහන් සිලෙන් තව තවත් ඒකාලෝක වේවායි ප්‍රාර්ථනා කරමි.
ශ්‍රී ලංකාවාසී මෙන්ම ලෝකවාසී සියලුම හින්දු බැතිමතුන්ට සාමය, සතුට, සෞභාග්‍යය පිරි සුබ දීපාවලි උත්සවයක් වේවායි හෘදයාංගම සුබපැතුම් එක් කරමි.
අනුර කුමාර දිසානායක
ජනාධිපති
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය”







Leave a Reply