හම්බන්තොට ස්ථාපිත කිරීමට නියමිතව තිබූ ඇමෙරිකානු ඩොලර් බිලියන 3.7ක වටිනාකමකින් යුත් සිනොපෙක් (Sinopec) තෙල් පිරිපහදු ව්‍යාපෘතිය අත්හිටුවීමේ පූර්ණ අවදානමකට ලක්ව ඇති බව වාර්තා වනවා.
ඒ, කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා කමිටුව විසින් දැනට පවතින ගිවිසුම අහෝසි කර නව ආයෝජන යෝජනා කැඳවන ලෙස නිර්දේශ කිරීමත් සමඟයි.
ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී බී. කේ. ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුව, ජාතික බලශක්ති ස්වෛරීභාවය වෙනුවෙන් දැඩි ස්ථාවරයක සිටිමින් සිනොපෙක් සමාගම ඉදිරිපත් කළ ප්‍රධාන ඉල්ලීම් 10ක් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
ගිවිසුම අහෝසි කිරීමට සාකච්ඡා කමිටුව නිර්දේශ කර තිබුණද, ගිවිසුම සම්පූර්ණයෙන්ම අහෝසි කරන්නේද නැතහොත් නව යෝජනා කැඳවන්නේ ද යන්න පිළිබඳ ඉදිරි තීරණය කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබෙන තෙක් තවදුරටත් බලාපොරොත්තුවෙන් පවතිනවා.
සිනොපෙක් සමාගම වසර 15 සිට 25 දක්වා වූ බදු සහන ලබා ගැනීම සඳහා ‘මූලෝපායික සංවර්ධන ව්‍යාපෘති’ (SDP) තත්ත්වය ඉල්ලා සිටි අතර, එය ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9ක අන්තර්ජාතික මූල්‍ය අරමුදල් (IMF) සහන වැඩසටහනේ දැඩි බදු සහ ආදායම් රීතීන් සමඟ ඍජුවම ගැටෙන බව සඳහන් වනවා.
මීට අමතරව, අක්කර 700ක ඉඩම් ප්‍රමාණයක් වසර 99ක බදු පදනමකට ලබා ගැනීමටත්, රජයට ගෙවිය යුතු 1%ක රාජ්‍ය භාගය ඉවත් කරගැනීමටත් සිනොපෙක් සමාගම උත්සාහ කර තිබෙනවා.
එමෙන්ම, දේශීය ඉන්ධන වෙළෙඳපොළෙන් 40%ක් දක්වා හිමිකර ගැනීමට සිනොපෙක් සමාගම කළ ඉල්ලීම, ශ්‍රී ලාංකික ඉන්ධන පාරිභෝගිකයන් විදේශීය රාජ්‍ය සමාගමක ග්‍රහණයට හසුකිරීමේ ප්රයත්නයක් ලෙස සාකච්ඡාකරුවන් නිරීක්ෂණය කර ඇත.
හම්බන්තොට ප්‍රදේශය තුළ චීනයේ මූලෝපායික බලපෑම වර්ධනය වීම පිළිබඳව විමසිල්ලෙන් පසුවූ ඉන්දියාව සහ ඇමෙරිකාව ඇතුළු කලාපීය බලවතුන් වෙත ද මෙම තීරණය හරහා පැහැදිලි පණිවිඩයක් නිකුත් කෙරෙන බව Sunday Times Business වාර්තාව සඳහන් කරනවා.
දේශීය ඉන්ධන වෙළෙඳපොළ තුළ චීන රජයට අයත් සමාගමකට ඒකාධිකාරයක් හිමිවීම වැළැක්වීම මඟින්, ශ්‍රී ලංකාවේ බලශක්ති යටිතල පහසුකම් කෙරෙහි විදේශීය පාලනයක් ඇතිවීම සම්බන්ධයෙන් නවදිල්ලිය පළ කළ කණස්සල්ල සමනය කිරීමට ශ්‍රී ලංකාවට හැකිවී ඇති බව විදේශ හා වත්මන් කටයුතු පිළිබඳ ප්‍රවීණයෝ පෙන්වා දෙනවා.
මෙම තීරණය මඟින් ජාතික ජනබලවේග රජය චීන විරෝධී පාලනයක් ලෙස නොව, ඕනෑම ලෝක බලවතෙකුගෙන් එල්ල වන අසමතුලිත යෝජනා ප්‍රතික්ෂේප කරමින් රටේ ආර්ථික ස්වෛරීභාවය සුරකින ස්වාධීන පාලනයක් ලෙස කටයුතු කරන බව ද ඔවුහු වැඩිදුරටත් සඳහන් කරති.







Leave a Reply