Loading...

අලි ඇතුන්ගේ ජීවිත සුරකින්න ‘හස්ති සේනා’ මෙහෙයුම ගල්කිරියාගමෙන් ඇරඹෙයි

වන අලි ඇතුන්ගේ ජීවිත සුරැකීම සහ අලි – මිනිස් ගැටුම අවම කිරීමේ අරමුණින් දිවයින පුරා ක්‍රියාත්මක කෙරෙන ‘හස්ති සේනා’ මෙහෙයුම අද (02) වයඹ වනජීවී කලාපයේ ගල්කිරියාගම ප්‍රදේශයෙන් ආරම්භ කර තිබෙනවා.

පරිසර අමාත්‍යාංශය, ත්‍රිවිධ හමුදාව සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඒකාබද්ධව මෙම මෙහෙයුම ක්‍රියාත්මක කරනු ලබන්නේ විද්‍යාත්මක හා සැලසුම්සහගත වැඩපිළිවෙළක් ලෙසයි.

ආරම්භක අවස්ථාවට සහභාගී වෙමින් අදහස් දැක්වූ පරිසර අමාත්‍යවරයා සඳහන් කළේ, අනතුරට ලක්වීමේ අවදානමක් පවතින අලි ඇතුන් 17 දෙනෙකු මූලික කරගනිමින් මෙම මෙහෙයුම ආරම්භ කළ බවයි.

අලි ඇතුන් ජීවත්වන ප්‍රදේශවලින් සියයට 80ක් පමණ ආවරණය වන පරිදි මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර, ඉතිරි සියයට 20ක ප්‍රදේශය ද වෙනම විශේෂ වැඩපිළිවෙළක් යටතේ ආවරණය කිරීමට අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.

වන අලි ඇතුන්ගේ ජීවිතවලට තර්ජනයක් වන අනවසර ගිනි අවි, හක්කපටස්, අනවසර විදුලි රැහැන් සහ මදු සම්බන්ධයෙන් වැටලීම් සිදු කිරීම සහ නීතිමය ක්‍රියාමාර්ග ගැනීම අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට ද මෙම වැඩපිළිවෙල යටතේ සැලසුම් කර ඇත.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන මෙම මෙහෙයුම සඳහා හමුදා සාමාජිකයන් 60 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ඇතුළුව කණ්ඩායම් හයක් යටතේ ක්‍රියාත්මක වන මෙහෙයුම් කණ්ඩායම් 10ක් දායක වනවා.

මෙම අවස්ථාව සඳහා වයඹ පළාත භාර වනජීවී අධ්‍යක්ෂ පුෂ්පන්ත විමලදාස, පරිසර අමාත්‍යාංශයේ උපදේශක රවින්ද්‍ර කාරියවසම්, 21 වන සේනාංකයේ මේජර් ජෙනරාල් කමින්ද සිල්වා, 212 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් බස්නායක සහ ලුතිනන් කර්නල් අබේවික්‍රම යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *