Loading...

බෙංගාල බොක්කේ ‘මුරසු’ සුළි කුණාටුව තවදුරටත් ප්‍රබල වෙයි

බටහිර මධ්‍යම සහ ඊට යාබද නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ‘මුරසු’ සුළි කුණාටුව තවදුරටත් වර්ධනය වෙමින් ප්‍රබල සුළි කුණාටුවක් බවට පත්වීමේ ඉහළ හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඊයේ (01) රාත්‍රී 23.30 වන විට මෙම සුළි කුණාටුව කන්කසන්තුරයේ සිට කිලෝමීටර් 480ක් පමණ උතුරට බරව ඊශාන දෙසින් (උතුරු අක්ෂාංශ 13.3° සහ නැගෙනහිර දේශාංශ 83.0°) කේන්ද්‍රගතව පැවැතුණා.

එය ඉදිරි පැය කිහිපය තුළ තවදුරටත් වර්ධනය වී, අද (02) මධ්‍යම රාත්‍රියේ සිට හෙට අලුයම් කාලය අතරතුර නෙල්ලෝර් සහ නර්සාපූර් අතරින් දකුණු ආන්ද්‍රා ප්‍රදේශ් වෙරළ තීරය හරහා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස ඉන්දියානු ගොඩබිමට ඇතුළුවනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

ධීවර හා නාවික ප්‍රජාවට දැඩි අවවාද

පවතින අවදානම් තත්ත්වය හමුවේ පහත සඳහන් මුහුදු ප්‍රදේශවල නැවත දැනුම්දෙන තුරු ධීවර සහ නාවික කටයුතුවලින් වළකින ලෙසත්, දැනට එම මුහුදු ප්‍රදේශවල රැඳී සිටින පිරිස් වහාම ආරක්ෂිත ප්‍රදේශ කරා යාත්‍රා කරන ලෙසත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි,

උතුරු අක්ෂාංශ 10ත් 17ත් සහ නැගෙනහිර දේශාංශ 80ත් 90ත් අතර මුහුදු ප්‍රදේශ

මන්නාරම සිට කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ

දිවයින වටා මුහුදේ තත්ත්වය

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, සුළඟේ වේගය පැයට කිලෝමීටර් 25-35 දක්වා පැවැතේ.

කෙසේ වෙතත්, හලාවත සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 40-45 දක්වා ඉහළ යා හැකි අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැක.

එමෙන්ම ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී තාවකාලිකව පැයට කිලෝමීටර් 60-70 දක්වා ප්‍රබල තද සුළං ඇති විය හැකි අතර, එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැකි බව ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *