Loading...

බැංකු ගිණුම් ඇරඹීම, වාහන ලියාපදිංචිය ඇතුළු ආර්ථික කාර්යයන් 8කට අද සිට TIN අංකය අනිවාර්යයි

බැංකු සහ මූල්‍ය කටයුතු ඇතුළු ප්‍රධාන ආර්ථික කාර්යයන් 08ක් සඳහා අද (01) සිට බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය (TIN) ඉදිරිපත් කිරීම අනිවාර්ය කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

වයස අවුරුදු 18 ඉක්මවූ පුද්ගලයින් සඳහා TIN අංකයක් ලබාගැනීම මේ වන විටත් අනිවාර්ය කර ඇති නමුත්, TIN අංකයක් ලබා ගන්නා සෑම පුද්ගලයෙකුම බදු ගෙවීමට යටත් නොවන බව ද එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.

ඒ අනුව, වයස අවුරුදු 18 ඉක්මවූ පුද්ගලයින් පහත සඳහන් කාර්යයන් 08 සඳහා TIN අංකය ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ:

බැංකුවක හෝ මූල්‍ය ආයතනයක ගිණුමක් විවෘත කිරීම

ගොඩනැගිලි සැලැස්මක් සඳහා අනුමැතිය ලබා ගැනීම

මෝටර් රථයක් ලියාපදිංචි කිරීම හෝ මෝටර් රථ බලපත්‍රය අලුත් කිරීම

ඉඩමක් හෝ ඉඩමක හිමිකම ලියාපදිංචි කිරීම

ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීම

ශ්‍රී ලංකාවේ සංස්ථාපිත සමාගමක කොටස් පැවරීම

ණය කාඩ්පතක් (Credit Card) ලබා ගැනීම

අනෙකුත් නියමිත මූල්‍ය හා ආර්ථික කටයුතු

වයස අවුරුදු 18 ඉක්මවූ මෙරට පුරවැසියන්ගෙන් මිලියන 14කට (ලක්ෂ 140කට) ආසන්න සංඛ්‍යාවක් මේ වන විටත් TIN අංකය ලබාගෙන තිබෙනවා.

මෙතෙක් TIN අංකයක් ලබාගෙන නොමැති ජනතාවට දේශීය ආදායම් දෙපාර්තමේන්තු ප්‍රාදේශීය කාර්යාලයක් වෙත පැමිණ හෝ එම දෙපාර්තමේන්තුවේ නිල ඊ-සේවාව (e-Services) ඔස්සේ අන්තර්ජාලය හරහා ලියාපදිංචි වී TIN අංකය ලබාගත හැකි බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *