“කොළඹ කුණු ඔක්කොම බේරේ වැවට” යැයි කථාවක් ඇත.කොළඹ ඇති පොදු සහ පුද්ගලික ස්ථාන වලින් පිටකරන බහුතරයක් කැලි කසල බේරේ වැවට එක්වීම ඊට හේතුව වන්නට ඇත.2022 මැයි මාසයේ 09 වැනිදා කොළඹ ගාලු මුවදොර පිටියේ පැවති අරගලයට පහර දීමට පැමිණි බව කියන පිරිසකට එදා බේරේ වැවෙන් හොදට දිය නාගන්නට අවස්ථාව හිමි විය.ඒ නිසාම එදිනෙන් පසුව බේරේ වැව “බයියන් නාපු වැව” යනුවෙන්ද ඇතමුන් හදුන්වන්නට විය.
බේරේ වැව හෙක්ටයාර් 65 ක් හෙවත් අක්කර 162 ක විශාලත්වයකින් යුක්තය. දළ වශයෙන් ගැඹුර මීටර් 1.67 ක් බවද කියති.බේරේ වැව කොළඹ වරායටත්, ශාන්ත සෙබස්තියන් ඇල හරහා කැළණි ගගටත් සම්බන්ධ වන බව ඒ සම්බන්ධයෙන් කළ සොයා බැලීමකදී අනාවරණය විය.
බේරේ වැවට දිනපතා විශාල කැලි කසල විශාල ප්‍රමාණයක් එකතු වීම නොරහසකි. කොළඹ ඇති ප්‍රධාන පෙලේ හෝටල්,රෝහල්,ව්‍යාපාරික ස්ථාන,කාර්යාල ආදී කී නොකී ස්ථාන රැසකම අප ද්‍රව්‍ය බැහැර කරන මධ්‍යස්ථානය බවට බේරේ වැව පත්ව තිබේ.මේ නිසාම වසර කීපයක සිට බේරේ වැව දැඩි ලෙස අපිරිසිදු වී ඇත.
ගංගාරාම විහාරස්ථානයේ සීමාමළකය ස්ථාපනය කර ඇත්තේම බේරේ වැව තුළය.මෙම සීමා මාළකය නිසාම බේරේ වැවට අපූරු සුන්දරත්වයක්ද එකතු වී ඇත.නමුත් අවාසනාවකට ඒ බවක් නොතකන ඇතැම් නොමිනිසුන්ගේ අමන ක්‍රියාවන් නිසා බේරේ වැව දිනෙන් දින අපවිත්‍ර වෙමින් දුගද හමන ස්ථානයක් බවට පත්ව ඇත්තේ ජාතියේම අවාසනාවකට විය හැක.
බේරේ වැව සම්බන්ධයෙන් මෙතරම් පූර්විකාවක් ලියන්න සිදුවුයේ හේතු දෙකක් මතය.ඉන් එකක් වන්නේ බේරේ වැවේ රොන් මඩ ඉවත් කර පිරිසිදු කිරීම සදහා 2019 වසරේදී ක්‍රියාත්මක කිරීමට යෝජිතව තිබී නමුත් අතහැර දමන ලද ව්‍යාපෘතියක් සහ ජපන් රජයේ ආධාර ඇතිව “බේරේ බේරා ගනිමු” මැයෙන් ආරම්භ කිරීමට තිබූ ව්‍යාපෘතියකට වෙච්ච දෙයක් නොමැති නිසාය.
අපි පළමුව 2019 වසරේ මෙරට රජය විසින් ක්‍රියාත්මක කිරීමට යෝජනා වී තිබූ ව්‍යාපෘතිය පිළිබදව කථා කරමු.
2019 වසරේදී එවකට පැවති රජය විසින් ආරම්භ කිරීමට යෝජනා කරන ලද බේරේ වැවේ රොන් මඩ ඉවත් කිරීම සදහා වන ව්‍යාපෘතියට අය – වැය තුළින් රුපියල් කෝටි 80 ක මුදලක් වෙන් කර ඇත.එකී ව්‍යාපෘතිය එම වසරේදීම අවසන්වීමට නියමිතව තිබුණි.විවිධ ස්ථාන වලින් බැහැර කරන අපද්‍රව්‍ය හේතුවෙන් බේරේ වැවට දැඩි ලෙස “බැර ලෝහ” එකතු වී ඇති බව ඒ වන විට අනාවරණය වී තිබී ඇත.එසේ එකතු වී ඇති අප ද්‍රව්‍ය වැවේ ඇති රොන් මඩ අතරින් 0.5 ක ප්‍රමාණයක් ඉවත් කිරීම පළමු යෝජනාව වී ඇත.ඒ අනුව ඝන මීටර් 3,25,000 ක රොන් මඩ තට්ටුවක් බේරේ වැවෙන් ඉවත් කිරීමට යෝජනා විය.
මේ වැඩේ පහසු කටයුත්තක් නොවන බව එහිදී ඉංජිනේරුවන් පෙන්වා දී ඇත.රොන් මඩ තට්ටුව යන්ත්‍ර – සුත්‍ර භාවිතා කර වෙනත් ස්ථානයකට පොම්ප කිරීම කළ නොහැකිය.එසේ පොම්ප කරනවා නම් කළ යුත්තේ මහ මුහුදටය. එවිට බේරේ වැවේ තිබෙන බවට හදුනා ගෙන ඇති බැර ලෝහ සියල්ල අපහසුවකින් තොරව මහ මුහුදට එකතු වන්නේය.එපමණක් නොව වැවේ සිටින මිරිදිය මසුන් විශාල ප්‍රමාණයක්ද පොම්ප කරන රොන් මඩ සමග මහ මුහුදට යැමට ඉඩ ඇත.මිරියේ වාසය කළ සතෙකුට කරදියෙහි මොහොතක් හෝ ජීවත් වීම කළ නොහැකි දෙයකි.එවිට ඒ සතුන් අකාලයේ මිය යාම කාටවත් වැළැක්විය නොහැකි වනවා ඇත.
ඒ අනුව බේරේ වැව ටැංකි ආකාරයට කොටස් තුනකට වෙන් කිරීමෙන් ජලය ඉවත් කිරීම පළමුව සිදු කෙරේ.එම ටැංකි වලට ක්‍රමයෙන් ජලය පිරවීමෙන් පළමු ටැංකියේ රොන් මඩ ඉතිරි වීම සිදු වේ.එසේ එකතු වන රොන් මඩ තට්ටුව පමණක් යන්ත්‍ර භාවිතා කර වෙනත් ස්ථානයකට පොම්ප කිරීමට යෝජනා වී ඇත.එසේ රොන් මඩ පොම්ප කළ හැක්කේද මහ මුහුදට පමණි. මන්ද එවන් විශාල රොන් මඩ ප්‍රමාණයක් පොම්ප කිරීමට හැකි ජනාවාසයකින් තොර ස්ථානයක් කොළඹ අවට නොමැති බැවිනි.
සියල්ල ආරම්භ කිරීමට පෙර ශක්‍යතා අධ්‍යන වාර්තාවක් සකස් කළ යුතු බවට සැළසුම් දෙපාර්තමේන්තුව මෙම ව්‍යාපෘතිය සදහා අනුමැතිය ලබා දෙමින් පවසා තිබුනේ ඒ නිසා වන්නට ඇති.තවද,මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී “බේරේ වැව අවට ජීවත් වන කිසිදු අයෙකුට හෝ ආයතනයකට හානියක් නොවිය යුතුය”.යනුවෙන් වන කොන්දේසියක්ද සැළසුම් දෙපාර්තමේන්තුව විසින් පනවා ඇත.එමෙන්ම ඉවත් කරන රොන් මඩ වලින් පරිසරයට,වායු ගෝලයට දුෂණ කාරක එකතු විය හැකි බැවින්,මිනිසුන්ගේ සහ සතුන්ගේ සෞඛ්‍යයට අහිතකර ද්‍රව්‍ය පරිසරයට එකතු වීමේ අවදානමක් ඇති බවද සැළසුම් දෙපාර්තමේන්තුව අදාල ව්‍යාපෘතියට අනුමැතිය ලබා දෙමින් සදහන් කර ඇත.නමුත් ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සේවකයින් කියා සිටින්නේ මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් කිසිදු ශක්‍යතා අධ්‍යයනයක් කර නොමැති බවය.
2019 වසරේදී අවසන් කිරීමට යෝජනා වී තිබූ බේරේ වැවේ රොන් මඩ ඉවත් කිරීම සදහා වන ව්‍යාපෘතියේ උපකරණ සහ භාණ්ඩ මිලදී ගැනීම සදහා එම වසරේම ජුනි මාසයේදී කැබිනට් අනුමැතිය ලබා දී ඇත.“ඉබ්බා දියේ දාන්නට පෙර ඇන්නෑවේ” කියා කිව්වා සේ කිසිදු ශක්‍යතා අධ්‍යයනයක් සිදු නොකර ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව කර ඇත්තේ අවශ්‍ය උපකරණ සහ භාණ්ඩ මිලදී ගැනීමට කටයුතු කිරීමය.
මෙම ව්‍යාපෘතියට අවශ්‍ය වන උපකරණ සහ භාණ්ඩ මිලදී ගැනීම සදහා ඒ වන විට රජය රුපියල් කෝටි 80 ක මුදලක් වෙන් කර තිබුණි.ඒ රාජ්‍ය අය – වැය මගිනි.ඒ අනුව පයිප්ප 350 ක්,බුස්ටර් පම්ප් එකක්,එස්කැවේටර් යන්ත්‍රයක් සහ ග්‍රෙජර් පම්ප් ඇටෑච්මන්ට් එකක් මිලදී ගෙන ඇත.මෙම භාණ්ඩ සහ යකඩ මිලදී ගැනීමට පෙර ආයතන 04 කින් මිල ගනන් කැදවීමක්ද ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් සිදු කර ඇත.පයිප්ප මිලදී ගැනීම සදහා අය – වැය තුළින් රුපියල් කෝටි 04 ක් වෙන් කර තිබුනත් වැය කර ඇත්තේ රුපියල් කෝටි 2.6 ක මුදලක් පමණි.එය පැසසිය යුතු කරුණකි.(සාමාන්‍ය ආකාරයට නම් සිදු වන්නේ ඉන් අනිත් පැත්ත වන නිසාය)නමුත් බූස්ටර් පම්ප් එක සදහා වැය කර ඇති මුදල රුපියල් කෝටි 7.5 කි.ඒ සදහා වෙන් කර තිබී ඇත්තේ රුපියල් කෝටි 06 කි.නමුත් මිලදී ගැනීම සදහා අදාල ආයතනයට ගෙවා ඇත්තේ රුපියල් කෝටි 6.9 ක මුදලක් බව මේ සම්බන්ධයෙන් කරන ලද සොයා බැලීමේදී අනාවරණය විය.එස්කැවේටර් යන්ත්‍රය මිලදී ගැනීම සදහා වෙන් කර ඇති මුදල රුපියල් කෝටි 04 කි.නමුත් එම යන්ත්‍රය මිලදී ගෙන ඇත්තේ රුපියල් කෝටි 8.33 ක මුදලකටය.මෙම යන්ත්‍රය මිලදී ගැනීමේදී ප්‍රමාද ගෙවීම් ගාස්තු ලෙස තවත් රුපියල් කෝටි 1.09 ක මුදලක්ද අදාල ආයතනයට ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් ගෙවීම් කර ඇත.ඒ මිලදී ගැනීම සදහා වන ගිවිසුම් කඩ කර අදාල ආයතනය විසින් ව්‍යාජ ලේඛණ ඉදිරිපත් කර තිබූ පසුබිමකය.එමෙන්ම එම ආයතනයට මිලදී ගැනීම වෙනුවෙන් වැට් බද්දක්ද ගෙවා ඇත.නමුත් පුදුමයට කරුණ වන්නේ එස්කැවේටර් යන්ත්‍රය ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවට අලවි කළ ආයතනය වැට් ගෙවීම් සදහා ලියාපදිංචි වී නොමැති ආයතනයක් වීමය.
ටොන් 90 ක් බරකින් යුක්ත මෙම එස්කැවේටර් යන්ත්‍රය මේ වන විටත් කිරි මණ්ඩල මාවතේ ඇති ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ භූමියේ ගාල් කර ඇත.ඒ යන්ත්‍රයේ පවතින ස්වභාවය අනුව එය එහා මෙහා ගෙන යාමට නොහැකි බව පවසමිනි.අව්වට වේලෙමින්,වැස්සට තෙමෙමින් ඇත්තේ ජනතා මුදල් බව කිසිවෙකු මෙතෙක් පිළි ගෙන නම් නොමැති බවක්ද ඒ අනුව දක්නට ඇත.
බේරේ වැවේ ඇති මඩ ඉවත් කිරීම සදහා අවශ්‍ය යන්ත්‍රය මිලදී ගැනීම සදහා කැබිනට් මණ්ඩලය අනුමත කර ඇත්තේ රුපියල් කෝටි 15 ක මුදලකි. නමුත් යන්ත්‍ර මිලදී ගැනීම සදහා රුපියල් කෝටි 24.47 ක මුදලක්ද ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් පුජා කර ඇත.
කෙසේ වෙතත් අනුමත මුදලට වඩා වැඩියෙන් කර ඇති ගෙවීම් වෙනුවෙන් 2022 වසරේදී නැවත වතාවක් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් වී ඇත.නමුත් මුදල් අමාත්‍යාංශය එම යෝජනා සහිත පත්‍රිකාව ප්‍රතික්ෂේප කර ඇත.ඒ පවතින ආර්ථික තත්ත්වය අනුව එතරම් මුදලක් ගෙවීමට නොහැකි බව සදහන් කරමිනි.
කෙසේ වෙතත් ඒ ආකාරයට බේරේ වැවේ රොන් මඩ ඉවත් කිරීමේ ව්‍යාපෘතිය අතර මග නතර වී ඇත්තේ මිලදී ගත් උපකරණ දිනෙන් දින විනාශ වෙමින් පවතින වටපිටාවක් තුළදීය.
මේ අතර “බේරේ බේරාගමු” නමින් තවත් ව්‍යාපෘතියක් 2023 වසරේ සැප්තැම්බර් මාසයේදී ආරම්භ කිරීමට යෝජනා වී ඇත.එම ව්‍යාපෘතිය ජපානයෙන් මෙටට හිමිවන පරිත්‍යාගයකි.ජපානයේ “ග්‍රොපෝ” නම් ආයතනයක් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට යෝජනා වී ඇත.
නැනෝ බබල් තාක්ෂණය යොදා ගෙන බේරේ වැව පිරිසිදු කිරීම එම ව්‍යාපෘතියයි.ඒ සදහා යන්ත්‍ර 40 ක් බේරේ වැවේ ස්ථාන 11 ක සවි කිරීමට යෝජනා වී ඇත.
මෙම ව්‍යාපෘතිය ජපානය විසින් සම්පූර්නයෙන්ම නොමිලේ ලබා දී ඇති ව්‍යාපෘතියකි.මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නම් ඒ සදහා රාජ්‍ය ආයනත 13 ක අනුමැතිය ලබා ගත යුතු වේ.නමුත් එම රාජ්‍ය ආයතන වල ඇති කඹ ඇදිල්ල හේතුවෙන් ව්‍යාපෘතිය මෙතෙක් ආරම්භ කර නොමැති බවක්ද දැන ගන්නට ඇත.
කුමන ව්‍යාපෘති සකස් කළත්,ඒ සදහා කව්රුන් මුල්‍ය සහාය දැක්වූවත් බේරේ වැව තවමත් පෙර තිබූ පරිදිමය.අවට ඇති විවිධ ස්ථාන වලින් පිට කරන අපද්‍රව්‍ය විශාල ප්‍රමාණක් දිනපතා බේරේ වැවට එකතු වීම මෙතෙක් පාලනය වී නැත.එය කෙදිනක සිදු වේවිද යන්න දන්නා කෙනෙක්ද තවමත් ඉපදී නැතිවට කිසිදු සැකයක් නැත.








සටහන සහ ඡායාරූප :- ජුඩ් සමන්ත







Leave a Reply