Loading...

ගෙදර වැඩ සමබර කරගන්න ඕන නිසා මාලිමා ආණ්ඩුවේ තවත් ආණ්ඩුකාරවරයෙක් ධුරයට සමුදෙයි?

තමන් බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධූරයෙන් ඉල්ලා අස්වීමට බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් මහතා තීරණය කර තිබෙනවා.

මාධ්‍යයට ප්‍රකාශයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කරනවා.

ඒ මහතා මෙම විශේෂ මාධ්‍ය ප්‍රකාශය නිකුත් ඇත්තේ තම ධූරය සම්බන්ධව මෑත කාලීනව මාධ්‍ය තුළ පළවූ විවිධ අනුමාන කිරීම් සහ ප්‍රවෘත්ති පළවන පසුබිමකයි.

ආණ්ඩුකාරවරයා ලෙස පොදු මහජන සේවයේ වගකීම් ඉටු කිරීම, විදේශීය සෘජු ආයෝජන සඳහා වන ජනාධිපති විශේෂ නියෝජිතයෙක් ලෙස පැවරී ඇති අතිරේක වගකීම් සහ තම පවුලේ කටයුතු සමබරව පවත්වාගෙන යාම දැනට පවතින දැඩි අභියෝගයක් වී ඇති වීම හේතුවෙන් තමන් ආණ්ඩුකාර ධූරයෙන් ඉවත් වීමට ඇති කැමැත්ත මීට පෙර අවස්ථාවකද ජනාධිපතිවරයා වෙත දන්වා තිබූ බව එම නිවේදනයෙන් ඔහු පෙන්වා දී තිබෙනවා.

කෙසේ වෙතත් නව ආණ්ඩුකාරවරයෙකු පත්කර පරිපාලනය කටයුතු විධිමත්ව ඉදිරියට පවත්වාගෙන යාම සඳහා ජනාධිපතිවරයාගේ ඉල්ලීම පරිදි සුදුසු අනුප්‍රාප්තිකයෙකු පත් කරන තෙක් තවදුරටත් ආණ්ඩුකාර ධූරයේ කටයුතු කරගෙන යාමට තමන් තීරණය කළ බව ඒ මහතා වැඩිදුරටත් පවසනවා.

එම නිවේදනය පහතින්,

බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා
மேல் மாகாண ஆளுநர்
GOVERNOR – WESTERN PROVINCE

2026 මැයි මස 17වන දින

මාධ්‍ය නිවේදනය
ආණ්ඩුකාර ධුරය සම්බන්ධයෙන් මෑතකාලීනව මාධ්‍ය තුළ පළවන විවිධ අනුමාන කිරීම් පිළිබඳව පැහැදිලි කිරීමට මම අදහස් කරමි.

ආණ්ඩුකාරවරයකු ලෙස රාජ්‍ය තාන්ත්‍රික වගකීම් ඉටු කිරීම, විදේශීය සෘජු ආයෝජන පිළිබඳව ජනාධිපතිතුමාගේ විශේෂ නියෝජිතවරයා ලෙස පැවරී ඇති අතිරේක වගකීම් ඉටුකිරීම මෙන්ම මගේ පවුලේ වගකීම් ද සමබරව පවත්වාගෙන යාම මුහුණ පා ඇති දැඩි අභියෝගයක් බැවින්, මා ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්වීමට ඇති කැමැත්ත මීට පෙර අවස්ථාවකදී අතිගරු ජනාධිපතිතුමා වෙත දන්වා සිටියෙමි.

රට වෙනුවෙන් වගකීම් සහගත ධුරයක් හොබවමින් අපේ දේශයේ ප්‍රගතිය උදෙසා මා හට හැකි සෑම අයුරකින්ම දායක වීමට ලැබීම මා ලැබූ භාග්‍යයකි. එම අවස්ථාව මාහට ලබාදීම පිළිබඳව ගරු ජනාධිපතිමන්ට කෘතවේදීත්වය පුදකරමි.

කෙසේ වුවද, සුමට හා විධිමත් සංක්‍රාන්ති කාලසීමාවක් සහතික කරනු පිණිස , අතිගරු ජනාධිපතිතුමා විසින් සුදුසු අනුප්‍රාප්තිකයෙකු පත්කරන තෙක් ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කරමි.

ඉන් අනතුරුව, ජනාධිපතිතුමාගේ දැක්මට සහාය වෙමින්, විදේශීය සෘජු ආයෝජන ආකර්ෂණය කර ගැනීමට සහ ශ්‍රී ලංකාවේ ජාතික සංවර්ධනයට දායක වීම සඳහා මගේ ජාත්‍යන්තර සබඳතා සහ ජාලයන් උපයෝගී කර ගනිමින්, විදේශීය සෘජු ආයෝජන පිළිබඳ ජනාධිපති විශේෂ නියෝජිතවරයා ලෙස දැනට මා දරන ස්වේච්ඡා තනතුරේ තවදුරටත් කටයුතු කිරීමට මම ගෞරවයෙන් අපේක්ෂා කරමි.

අපේ දේශයට සේවය කිරීම සඳහා මා තුළ ඇති කැපවීම නොසැලී පවතින අතර, අතිගරු ජනාධිපතිතුමා මා කෙරෙහි තැබූ විශ්වාසය පිළිබඳව මම මගේ බලවත් කෘතඥතාව පළ කර සිටිමි.

හනීෆ් යූසුෆ්
ආණ්ඩුකාර – බස්නාහිර පළාත් සභාව


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *