Loading...

මිද්දෙණියේ රසායන ද්‍රව්‍ය ගැන රස පරීක්ෂක වාර්තාවෙන් හෙළි වූ දේ

මිද්දෙණිය ප්‍රදේශයෙන් පසුගියදා සොයාගත් රසායනික ද්‍රව්‍යවල සාම්පල පිළිබඳව රජයේ රස පරීක්ෂකවරයාගේ වාර්තාව පොලීසිය වෙත භාර දී තිබෙනවා.

පොලීසිය පැවසුවේ එම වාර්තාවට අනුව ඒවා අයිස් මත්ද්‍රව්‍ය සෑදීමට යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය බවට තහවුරු කර ඇති බවයි.

කෙහෙල්බද්දර පද්මේ හා කුඩු නිලංග මෙරට අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමට භාවිත කරන බව කියන රසායනික ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 50000ක් පමණ බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය මිද්දෙනිය ප්‍රදේශයෙන් පසුගිය සැප්තැම්බර් 6 වනදා සොයා ගනු ලැබුවා.

ඒ කෙහෙල්බද්දර පද්මේ සමඟ ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගනු ලැබූ බැකෝ සමන් නැමැත්තාගෙන් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය කළ ප්‍රශ්න කිරීම්වලින් අනාවරණය කරගත් තොරතුර මතයි.

පසුව අදාළ රසායනික ද්‍රව්‍ය සාම්පල පරීක්ෂණ කටයුතු සඳහා අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයට සහ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට යොමුකර තිබුණා.

ඊට අදාළව අන්තර්රායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ වාර්තාව පසුගියදා නිකුත් කෙරුණා.

එහි සඳහන් වුණේ එම රසායනික ද්‍රව්‍ය සාම්පල 20න් 17ක්ම අයිස් මත්ද්‍රව්‍ය සෑදීමට යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය ඇති බවයි.

මේ අතර අදාළ රසායනික ද්‍රව්‍ය පිළිබඳව රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනයේ වාර්තාව ඊයේ (19) පොලීසියට භාර දී තිබෙනවා.

පොලීසිය කියා සිටියේ මිද්දෙණිය ප්‍රදේශයෙන් සොයාගත් එම රසායනික ද්‍රව්‍ය අයිස් මත්ද්‍රව්‍ය සෑදීමට ගන්නා රසායනික ද්‍රව්‍ය බවට එම වාර්තාවෙන් තහවුරු කර ඇති බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *