Loading...

වසර අටක සංගීත ගමන ජාත්‍යන්තර වේදිකාවට ගෙන යන ‘නාදගම මෙල්බර්න්’

වසර අටකට පෙර පුද්ගලයින් 150 දෙනෙකුගෙන් ආරම්භ වූ ‘නාදගම’ සංගීත ප්‍රසංගය, අද වන විට ජාත්‍යන්තර වේදිකාවක් දක්වා ව්‍යාප්ත වී තිබෙනවා.

ඒ අනුව, ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරදී ඔක්තෝබර් 31 වැනිදා පැවැත්වීමට නියමිත ‘නාදගම මෙල්බර්න්’ ප්‍රසංගය සඳහා මේ වන විට ප්‍රවේශපත්‍ර 5,000කට අධික සංඛ්‍යාවක් අලෙවි වී ඇති බව සංවිධායකයින් පවසනවා.

මෙම ප්‍රසංගය සඳහා වෙන්කර ඇති බව කියන මුදල රුපියල් මිලියන 200ක්. එය විදේශයකදී පැවැත්වෙන දැවැන්තම ශ්‍රී ලාංකික සංගීත ප්‍රසංග නිෂ්පාදන අතරට එක්වන බවයි සංවිධායකයින් පෙන්වා දෙන්නේ.

ප්‍රසංගය පැවැත්වෙන්නේ මෙල්බර්න් නුවර පිහිටි සුප්‍රසිද්ධ Sidney Myer Music Bowl එළිමහන් සංගීත රංග පීඨයේදීයි. ABBA, AC/DC, Paul McCartney සහ Metallica වැනි ජාත්‍යන්තර සංගීත ශිල්පීන්ගේ ප්‍රසංග සඳහා ද මෙම ස්ථානය භාවිත කර තිබෙනවා.

මනුරංග විජේසේකරගේ මෙහෙයවීමෙන් පැවැත්වෙන ප්‍රසංගයට මෙතුන් SK, රිද්ම වීරවර්ධන, දිනේෂ් ගමගේ, ධනිත් ශ්‍රී, කංචනා අනුරාධි සහ සුපුන් පෙරේරා ඇතුළු ජනප්‍රිය ගායන ශිල්පීන් එක්වනවා. සංගීත අධ්‍යක්ෂණය සිදුකරන්නේ ඉෂාන් දෙනිපිටියයි.

සංවිධායකයින් සඳහන් කරන පරිදි, ඔස්ට්‍රේලියාවේ පැරණිතම වෘත්තීය වාද්‍ය වෘන්දය වන Melbourne Symphony Orchestra හි සංගීත ශිල්පීන් පිරිසක් ද මෙම ප්‍රසංගයට එක්වීමට නියමිතයි. 1906 වසරේ ආරම්භ කළ එම වාද්‍ය වෘන්දයේ ශිල්පීන්ගේ සහභාගීත්වය ප්‍රසංගයේ සංගීත නිර්මාණ සඳහා ජාත්‍යන්තර මුහුණුවරක් එක්කරනු ඇති.

ශ්‍රී ලංකාවෙන් කලාකරුවන් සහ තාක්ෂණික කාර්ය මණ්ඩල සාමාජිකයින් 35කට අධික පිරිසක් මේ සඳහා මෙල්බර්න් නුවරට ගමන් කිරීමට නියමිත අතර, විදේශීය සංගීත ශිල්පීන් සහ නිෂ්පාදන කණ්ඩායම් ද ඔවුන් සමඟ එක්වනවා.

150කින් ඇරඹි ගමන ප්‍රේක්ෂකයින් 12,000ක් දක්වා

වසර අටක කාලයක් පුරා එකම මූලික කලාකරුවන් පිරිසක් සමඟ අඛණ්ඩව පවත්වාගෙන යෑම ‘නාදගම’ ප්‍රසංගයේ අනන්‍යතාව ගොඩනැගීමට හේතු වී තිබෙනවා.

ආරම්භයේදී පුද්ගලයින් 150 දෙනෙකු පමණක් සහභාගී වූ මෙම ප්‍රසංගය, පසුව එක් ප්‍රසංගයකට 12,000කට අධික ප්‍රේක්ෂක පිරිසක් ආකර්ෂණය කරගන්නා මට්ටමට වර්ධනය වී ඇති බවයි සංවිධායකයින් පවසන්නේ.

මේ දක්වා සමස්ත ප්‍රේක්ෂක සහභාගීත්වය 80,000 ඉක්මවා ඇති අතර, ඉන් 40,000ක් පමණ පසුගිය වසර දෙක තුළ සහභාගී වී තිබෙනවා.

එළිමහන් පරිසරයකදී සජීවී සංගීතය රසවිඳිමින්, ගීත සමඟ එක්ව ගායනා කරමින් සහ කලාකරුවන් සමඟ සමීප අත්දැකීමක් බෙදාගැනීමට ප්‍රේක්ෂකයින්ට අවස්ථාව සැලසීම ද ‘නාදගම’ ප්‍රසංගයේ විශේෂත්වයක් ලෙස සංවිධායකයින් පෙන්වා දෙනවා.

මෙල්බර්න් සිට කොළඹටත් ලෝකය පුරා ප්‍රේක්ෂකයින්ටත්

මෙවර ප්‍රසංගය තවත් විශේෂ වන්නේ එය සජීවීව අන්තර්ජාලය ඔස්සේ ද විකාශය කිරීමට සැලසුම් කර තිබීමයි. ඒ අනුව, ශ්‍රී ලංකාවේ සහ විදේශයන්හි සිටින ප්‍රේක්ෂකයින්ට SLVLOG Events Couch Pass හරහා ප්‍රසංගය සජීවීව නැරඹීමට අවස්ථාව හිමිවනවා.

මීට අමතරව, කොළඹ City of Dreams පරිශ්‍රයේදී විශේෂ ‘නාදගම Watch Party’ වැඩසටහනක් ද සංවිධානය කර තිබෙනවා.

එහිදී මෙල්බර්න් ප්‍රසංගයේ සජීවී විකාශය නැරඹීමෙන් අනතුරුව ‘Handiya Pocket Edition’ සංගීත කණ්ඩායමේ සජීවී ප්‍රසංගයක් ද රසවිඳීමට අවස්ථාව සැලසෙන බව සඳහන්.

ශ්‍රී ලාංකික සංගීත ප්‍රසංගයක් ජාත්‍යන්තර වේදිකාවකට රැගෙන යෑම, විශාල නිෂ්පාදන පිරිවැයක් දැරීම සහ ශ්‍රී ලාංකික හා ඔස්ට්‍රේලියානු සංගීත ශිල්පීන් එකම වේදිකාවකට එක් කිරීම යන කරුණු හේතුවෙන් ‘නාදගම මෙල්බර්න්’ ප්‍රසංගය ශ්‍රී ලාංකික සංගීත ක්ෂේත්‍රයේ වැදගත් සන්ධිස්ථානයක් බවට පත්කිරීම සංවිධායකයින්ගේ අපේක්ෂාවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *