Loading...

,

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම ඇරඹේ

ශ්‍රී ලංකාවේ 09 වන විධායක ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්ද විමසීම අද (21) උදෑසන 7ට ආරම්භ වුණා.

ඒ අනුව අද (21) උදෑසන 7 සිට පස්වරු 4 දක්වා දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13421කදී ඡන්ද විමසීමේ කටයුතු ආරම්භ වී තිබෙනවා.

උදෑසනම ගොස් තම වටිනා ඡන්දය භාවිත කරන ලෙසයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා ඡන්ද දායකයින්ගෙන් ඉල්ලා සිටින්නේ.

මේ අතර ශ්‍රී ලංකා ඉතිහාසයේ ජනාධිපතිවරණයකට ඉදිරිපත් වූ වැඩිම අපේක්ෂකයින් ගණන මෙවර ඉදිරිපත්ව තිබෙනවා.

ඒ අනුව අපේක්ෂකයින් 39 දෙනෙක් ඉදිරිපත් වුවද ජනාධිපති අපේක්ෂක මොහොමඩ් ඉල්ලෙයාස් මහතාගේ අභාවය සමඟ එය 38ක් දක්වා විය.

මේ අතර ජනාධිපතිවරණය සඳහා සුදුසුකම් ලබා ඇති සමස්ථ ඡන්ද දායකයින් ගණන 17140354කි.

මෙවර මැතිවරණ දිස්ත්‍රික් 22 අතුරින් වැඩිම ඡන්ද දායකයින් සහිත දිස්ත්‍රික්කය ලෙස ගම්පහ දිස්ත්‍රික්කය බවට පත්ව තිබෙනවා.

එම දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද දායකයින් ගණන 1881129කි.

කොළඹ දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්දදායකයින් 1765351 දෙනෙක් ද,කුරුණෑගල දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්දදායකයින් 1,417,226ක්ද, ගාල්ල දිස්ත්‍රික්කයේ 903,163, අනුරාධපුර දිස්ත්‍රික්කයේ 741,862, සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ 709,622 දෙනෙකු ඡන්දය භාවිතා කිරීමට සුදුසුකම් ලබා තිබෙනවා.

බදුල්ල දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින් 705772ක් ද මාතර දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින් 686175 ක්ද, පුත්තලම දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින් 663673ක් ද, නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින් 605292ක් ඡන්දය භාවිතා කිරීමට සුදුසුකම් ලබා ඇති බව සඳහන්.

යාපනයේ දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින් 593187 දෙනෙක් ද, දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින් 555432ක් ද, හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින් 520940ක් ද, මඩකලපුව දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින් 449686ක් ද, මාතලේ දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින් 429991ක් ඡන්දය භාවිතා කිරීමට සුදුසුකම් ලබා තිබෙනවා.

මොනරාගල දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින් 399166ක් ද, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින් 351302ක් ද, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින් 315925ක්ද ඡන්දය භාවිතා කිරීමට සුදුසුකම් ලබා ඇති බව සඳහන්.

අඩුම ඡන්ද දායකයින් පිරිසක් සහිත මැතිවරණ දිස්ත්‍රික්කය ලෙස වන්නි දිස්ත්‍රික්කය පත්ව ඇති අතර එහි ඡන්දදායකයින් 306081 ක් ඡන්දය භාවිතයට සුදුසුකම් ලබා තිබෙනවා.

මේ අතර මෙවර ජනාධිපතිවරණයේ ලියාපදිංචි වැඩිම ඡන්ද දායකයින් පිරිසක් සහිත ඡන්ද බලප්‍රදේශය ලෙස කොළඹ දිස්ත්‍රික්කයේ හෝමාගම ඡන්ද බලප්‍රදේශය පත්ව ඇති අතර එහි ඡන්දය සඳහා සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින් ගණන 215075කි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *