Loading...

තෙල්දෙණිය ඝාතනයේ ප්‍රධාන සැකකරු ඇතුළු තවත් දෙදෙනෙක් යාපනයේ දී අත්අඩංගුවට

තෙල්දෙණිය ප්‍රදේශයේ නවතා තිබූ මෝටර් රථයක් තුළ තිබී කාන්තා මළ සිරුරක් සොයාගැනීමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු, ඔහුගේ විවාහක බිරිඳ සහ කුඩා දරුවෙකු යාපනයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ ඊයේ (23) වැල්ලවත්තේ සිට යාපනයේ චාවකච්චේරිය ප්‍රදේශය දක්වා බස් රථයකින් ගමන් කරමින් සිටියදී ලද තොරතුරක් මත යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ සහ වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් එක්ව සිදු කළ මෙහෙයුමකදී අද (24) අලුයම මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ප්‍රධාන සැකකරු මුව ආවරණයක් පැලඳ සිට ඇති අතර, ඔහුගේ බිරිඳ මුස්ලිම් කාන්තාවක් ලෙස වෙස්වලාගෙන සිටි බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා ඇත්තේ වව්නියාවට ගොස් අනෙක් දරුවන් දෙදෙනා පිළිබඳ කටයුතු සොයාබලා අනතුරුව පොලීසියට භාරවීමට සැලසුම් කර තිබූ බවයි.

මෙම මෙහෙයුම වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදුකර තිබෙනවා.

විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ, සැකකරුවන් පසුගිය දින කිහිපය තුළ මීගමුව සහ හලාවත ප්‍රදේශවල රැඳී සිට ඇති අතර, මුහුදු මාර්ගයෙන් විදේශගත වීමට උත්සාහ කර ඇති බවයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා නුවරඑළිය පොලීසිය වෙත භාරදීමට නියමිතයි.

පසුගිය 17 වනදා තෙල්දෙණිය ප්‍රදේශයේ නවතා තිබූ මෝටර් රථයක් තුළ තිබී කාන්තා මළ සිරුරක් සොයාගෙන තිබූ අතර, එලෙස මියගොස් සිටියේ අම්පාර මහ රෝහලේ සේවය කළ 34 හැවිරිදි භෞත චිකිත්සකවරියක වූ ශම්‍යා දර්ශනී නැමැති කාන්තාවයි.

ඇයගේ පෙම්වතා විසින් මළ සිරුර මෝටර් රථය තුළ දමා පලාගොස් ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණ වුණා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *