Loading...

මේ තත්ත්වය කෙටි කාලයක් – අපි ශක්තිමත්ව මුහුණදෙමු – ජනපති

මැදපෙරදිග යුදමය තත්ත්වය මෙරට තුළ ඩොලර් අර්බුදයක් ඇතිවීමට හේතුවක්ව තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම යටතේ ඊයේ (20) පැවති මඩකලපුව දිස්ත්‍රික් වැඩසටහනට එක්වෙමින්.

එම තත්ත්වය පාලනය කර ගැනීමට ගත යුතු උපදෙස් සම්බන්ධව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කර ඇති බවද ඔහු මෙහිදී කියා සිටියා.

ජනාධිපතිවරයා පවසන්නේ මෙම තත්ත්වය තවත් කෙටි කාලයක් පවතිනු ඇති බවයි.

ඒ හේතුවෙන් ඊට සියලු දෙනා ශක්තිමත්ව මුහුණ දෙන ලෙසද ජනාධිපතිවරයා මෙහිදී ජනතාවගෙන් ඉල්ලා සිටියා.

“මැදපෙරදිග යුධ තත්ත්වය නිසා ලෝකයේ දියුණු යැයි සම්මත රටවල්, අඩු ආර්ථික හැකියාවන් තියෙන රටවල් යන සෑම රටක්ම භේදයකින් තොරව ආර්ථික අභියෝගයන්ට මුහුණදී තිබෙනවා.

කෙසේ නමුත් ශක්තිමත් ආර්ථික කලමනාකරණයක ප්‍රතිඵලයක් ලෙස මෙවැනි ව්‍යසනයකට මුහුණ දෙන්න පුළුවන් රුපියල් ප්‍රමාණයක් අපේ භාණ්ඩාගාරය සතුව පවතිනවා.

වර්තමානයේ අපි මුහුණ දී තිබෙනවා ඩොලරය පිළිබඳ අර්බුදයකට. විශේෂයෙන් අනෙක් මුදල් ඒකකවලට සාපේක්ෂව ඩොලරය ශක්තිමත් වෙලා. එය අපේ රුපියලට බලපෑමක් ඇති කරලා.

අපේ ප්‍රධාන ඩොලර් ආදායම් මාර්ගයක් සංචාරක කර්මාන්තය. පසුගිය අප්‍රේල් මාසයට සාපේක්ෂව මෙවර 29%කින් සංචාරකයන් පැමිණීම අඩුවෙලා. එය අපේ ඩොලරයට බලපෑමක් ඇති කරනවා.

ලෝකයේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය නිසා අපේ අපනයනවල අඩුවක් ඇති වී තිබෙනවා. ඒ නිසා අපනයන හරහා ලැබෙන ඩොලර්වල හිඟතාවක් මතුවෙලා.

ඒ වගේම විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් එවන මුදල්වල පසුබැසීමත්, ඩොලර් මිල ඉහළ යාම නිසා ඉන්ධන ගෙන්වීම සඳහා මාසික පිරිවැය වැඩිවීමත් බලපා තිබෙනවා.

ඒ නිසා අපේ රුපියලට තෙරපුමත් ඩොලරයට ඉල්ලුමක් ඇතිව තිබෙනවා. මේ අර්බුදයට මුහුණ දීම සඳහා ක්‍රියාමාර්ග රැසක් නියමිතව තිබෙනවා.

කෙටි කාලයක් අපිට මේ ඩොලරය සඳහා තියෙන තෙරපුම පාලනය කරගත යුතුයි. ඒ සඳහා අපි ඉන්ධන පාවිච්චිය සීමා කළ යුතුයි.

ආනයන භාණ්ඩ පරිහරණය පිළිබඳ මෙන්ම ආනයන වියදම අඩු කිරීම පිළිබඳ අවධානය යොමුකළ යුතුයි. ඒ නිසා සියලු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ, රටින් එළියට ගලායන ඩොලර් ප්‍රමාණය අඩු කිරීමට තනි තනිව මැදිහත්වන ලෙස”


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *