Loading...

22 වන සංශෝධනයට පෙත්සම් ගොනු කිරීමේ කාලය හෙටින් අවසන්

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනුකිරීමේ කාලය හෙට (31) දිනයෙන් අවසන් වනවා.

පසුගිය 18වනදා අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මෙම පනත් කෙටුම්පතට පක්ෂව සහ විපක්ෂව මේ වන විට පෙත්සම් 30කට ආසන්න සංඛ්‍යාවක් ඉදිරිපත් වී ඇති බවයි වාර්තා වන්නේ.

විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ මෙන්ම ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු නීතිඥ සංගම් කිහිපයක් සහ සිවිල් සංවිධාන ගණනාවක් ද මෙම පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සම් ගොනුකර තිබෙනවා.

එමෙන්ම ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුනආරච්චි මහතා ඇතුළු තවත් පාර්ශ්ව කිහිපයක් පනත් කෙටුම්පතට පක්ෂව පෙත්සම් ගොනුකිරීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධනයට සිය පූර්ණ විරුද්ධත්වය ප්‍රකාශ කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) සහ රජයේ දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු අදාළ සියලුම වෘත්තීය සංවිධාන සමඟ එක්ව මෙම යෝජිත සංශෝධනයට එරෙහිව ඉදිරියේදී ඒකාබද්ධව කටයුතු කිරීමටයි එම සංගම් නියෝජිතයින් එකඟතාවකට පැමිණ ඇත්තේ.

පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනුකිරීමේ කාලය හෙටින් අවසන් වීමට නියමිත පසුබිමක, වෛද්‍ය සංගම් ද ඊට එරෙහිව මෙලෙස සටනට අවතීර්ණ වීම විශේෂත්වයක්.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *