Loading...

සලේගේ තත්ත්වය සොයා බැලීමට මානව හිමිකම් කොමිසම ජාතික රෝහලට

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා පිළිබඳව සිදුකරන විමර්ශනවලට අදාළව කරුණු දැක්වීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට මෙම සතිය තුළ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණෙන ලෙස දැනුම් දීමක් කර තිබෙනවා.

එම කොමිසමේ කොමසාරිස් නිමල් ජී. පුංචිහේවා මහතා පවසන්නේ සුරේෂ් සලේ මහතා පිළිබඳව ඔහුගේ ඥාතීන් සිදුකළ පැමිණිල්ලකට අනුව කොමිෂන් සභාව මේ වන විටත් විමර්ශන ආරම්භ කර ඇති බවයි.

මේ අනුව පසුගිය දිනවල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගොස් සලේ මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන ඇත.

තවද ඔහු රඳවා සිටි කුටිය ආසන්නයේ සිටින තවත් සැකකරුවන්ගෙන් ද ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව සඳහන්.

මේ අතර ඊයේ (08) දිනයේ සුරේෂ් සලේ මහතා සම්බන්ධව සොයා බැලීම සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නිලධාරීන් පිරිසක් කොළඹ ජාතික රෝහල වෙත ගොස් ඇති බව වාර්තා වනවා.

සුරේෂ් සලේ මහතා පිළිබඳව සිදුකරන විමර්ශනවලට අදාළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට පසුගිය සතියේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණෙන ලෙස දැනුම් දී තිබුණත් ඔවුන්ට එදිනට පැමිණිය නොහැකි බව දන්වමින් වෙනත් දිනයක් ඉල්ලා තිබුණා.

එම කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ මේ අනුව අදාළ විමර්ශන සිදුකරන ස්ථාන භාර නිලධාරීවරයා ඇතුළු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසකට මෙම සතිය තුළ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇති බවයි.

මේ අතර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටින සුරේෂ් සලේ මහතා තවදුරටත් ආහාර නොගෙන උපවාසයේ සිටින බව වාර්තා වනවා.

පවුලේ සමීප ඥාතීන්ට සහ ඔහුගේ නීතිඥවරයාට ඊයේ (08) සුරේෂ් සලේ මහතා හමුවීමට අවස්ථාව හිමිව තිබූ අතර, එහිදී තමන් තවදුරටත් ආහාර වර්ජනය අත්නොහැර පවත්වාගෙන යන බව ඔහු දැනුම්දී ඇති බව වාර්තා වනවා.

තමන් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ඉවත් කරන ලෙසත්, දැනට රඳවා සිටින ස්ථානය වෙනස් කරන ලෙසත් ඉල්ලමින් සලේ මහතා මෙම ආහාර වර්ජනය ආරම්භ කර ඇති බව සඳහන්.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *