මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර අද (27) පස්වරු 06.43 ට යෙදෙන සුබ මොහොතින් ආරම්භ වීමට නියමිත අතර, ඒ වෙනුවෙන් පොලිසිය විසින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර තිබේ.
අද රාත්‍රියේ වීථි සංචාරය කරන පෙරහැර දළදා වීදිය, යටිනුවර වීදිය, කන්දේ වීදිය, ඩී.එස්. සේනානායක වීදිය සහ රජ වීදිය ඔස්සේ කිලෝමීටර් 2යි මීටර් 150ක දුරක් ගමන් කර නැවත මාලිගාවට ගෙවදීමට නියමිතය.
පෙරහැර පැවැත්වෙන කාලසීමාව තුළ ක්‍රියාත්මක විශේෂ රථවාහන සැලැස්ම පහත පරිදි වේ:
කටුගස්තොට දෙසින් පැමිණෙන සහ පිටවන වාහන:
බර වාහන (ඇතුළුවීමට): මහයියාව හන්දියෙන් තිලක් රත්නායක මාවත ඔස්සේ පොලිසිය හන්දියෙන් මහනුවර නගරයට.
සැහැල්ලු වාහන (ඇතුළුවීමට): ඩී.එස්. සේනානායක වීදියෙන් පැමිණ හරස් වීදිය ඔස්සේ යටිනුවර වීදියට පැමිණ, දකුණට හැරී මීරමක්කම් පල්ලිය අසලින් වමට ධාවනය කර තිලක් රත්නායක මාවත ඔස්සේ ගමන් කළ හැක.
පිටවන වාහන (කටුගස්තොට දෙසට): පොලිසිය හන්දියෙන් තිලක් රත්නායක මාවත ඔස්සේ මහයියාව දෙසට.
තැන්නේකුඹුර සහ අම්පිටිය දෙසින් පැමිණෙන සහ පිටවන වාහන:
ඇතුළුවීමට: සංඝරාජ මාවත ඔස්සේ වේල්ස් පාර්ක් හන්දියට පැමිණ ඇහැලේපොළ කුමාරිහාමි මාවතෙන් දකුණට හැරී බෝගම්බර, දුම්රිය පොළ අසලින් කොළඹ දෙසට (වම් පසට) හෝ නගරය දෙසට (දකුණු පසට) ගමන් කළ හැක. එසේම රජපිහිල්ල මාවත හන්දියෙන් පල්ලිය පාර ඔස්සේ ද නගරයට ඇතුළු විය හැක.
නගරයෙන් පිටවීමට (අම්පිටිය/තෙල්දෙණිය දෙසට): ඔරලෝසු කණුව වටරවුමෙන් දළදා වීදිය ඔස්සේ පැමිණ රැජිණ හෝටලයේ පැති දොරටුව අසලින් ජෝයි බෝට්ටු සේවය පසුකර සංඝරාජ මාවත ඔස්සේ ගමන් කළ හැක.
විකල්ප මාර්ග: බෝගම්බර වටරවුමේ ඇහැලේපොළ කුමාරිහාමි මාවත, රජපිහිල්ල මාවත, වේල්ස් පාර්ක් හන්දිය හරහා සංඝරාජ මාවත ඔස්සේ ද අම්පිටිය හා තැන්නේකුඹුර දෙසට ගමන් කළ හැක.
කොළඹ දෙසින් පැමිණෙන සහ පිටවන වාහන:
කොළඹ දෙසින් නගරයට ඇතුළුවීමට සහ පිටවීමට විලියම් ගොපල්ලව මාවත හා පරණ පේරාදෙණිය පාර දෙපසටම භාවිත කළ හැක.
පල්ලිය පාර ද දෙපසටම ගමන් කළ හැකි පරිදි වෙන්කර ඇත.






Leave a Reply