මීගමුව බන්ධනාගාර ගැටුමට මුලික වූ රැඳවියන් අතට ආයුධ ලැබී ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙන බව අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසනවා.
අධිකරණ අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ මීගමුව බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්.
බන්ධනාගාර තුළ සිටි රැඳවියන් යකඩ ගේට්ටුව කඩාගෙන ඉන් පිටතට පැමිණ තිබූ බවද ඔහු මෙහිදී කියා සිටියා.
අමාත්‍යවරයා පවසන්නේ රජය ගැටුම කිසිඳු අවස්ථාවක අවතක්සේරු කර නොමැති බවත් බන්ධනාගාර යාන්ත්‍රණය කඩාකප්පල් කිරීම ගැටුමට සම්බන්ධ වූ පිරිසේ අරමුණ වී ඇති බවත්ය.
මෙම ගැටුම බන්ධනාගාර නිලධාරීන් සහ රැඳවියන් අතර ඇති වූ ගැටුමක් නොව, මත්ද්‍රව්‍ය සහ පාතාල කණ්ඩායම්වලට සම්බන්ධ රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් බවට මූලික තොරතුරු අනාවරණය වී ඇති බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.
ගැටුමේදී ප්‍රථමයෙන් ප්‍රහාරයට ලක්ව ඇත්තේ මත්ද්‍රව්‍ය සම්බන්ධ තොරතුරු ලබාදුන් රැඳවියන් බවද අමාත්‍යවරයා සඳහන් කළේය. එමෙන්ම, CCTV කැමරා සහ බොඩි ස්කෑනර් යන්ත්‍රය විනාශ කරමින් බන්ධනාගාරයේ ආරක්ෂක හා නිරීක්ෂණ පද්ධතිය අඩපණ කිරීමට ප්‍රහාරකයන් උත්සාහ කර ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසුවා.
“මේක හොඳින් සිහියට ගන්න මේක රැඳවියන් සහ බන්ධනාගාර නිලධාරීන් අතර ගැටුමක් වෙන්නේ නෑ. රැඳවියන් අතර ගැටුම වෙන්නේ. ඒකෙන් දෙන්නෙක් මිය යනවා. 34 තුවාල ලබනවා. ඒකට අපි මැදිහත් වෙනවා. ඒක අපිට සමතයකට පත්කරගන්න පුළුවන් වෙනවා.
පසුවෙනිදා උදෑසන නැවත ඉතාම ක්ෂණිකයෙන් උදේ වරුවේ ඔවුන්ට ආහාර දීලා උසාවි ගෙනියන්න ලෑස්ති වෙද්දි නැවත මෙම දෙපාර්ශ්වය අතර ගැටුමක් ආරම්භ වෙනවා. මේ ගැටුම වෙන්නේ කුඩු සහ පාතාලයට සම්බන්ධ කණ්ඩායම් දෙකක් අතර. මත්ද්‍රව්‍ය ගැන අපිට තොරතුරු දුන්න රැඳවියෝ තමා ඉස්සෙල්ලාම ප්‍රහාරයට ලක්වෙන්නේ. ඒ නිසා අපි හිතනවා මේක මත්ද්‍රව්‍ය හා සම්බන්ධ ගැටුමක් විය හැකියි කියලා. මා මේ කියන සියලු කරුණු තහවුරු වෙන්නේ කමිටු වාර්තාවලින් පසුව. මේ මට මේ මොහොතේ තියෙන තොරතුරු පමණයි. පරීක්ෂණ අනුව වෙනස් විය හැකියි.
මොවුන් ප්‍රහාර එල්ල කරලා CCTV කැමරා ටික කඩනවා. හැමෝම නෙමෙයි කෙටි පිරිසක්. බොඩි ස්කෑනර් එක කඩනවා. මොවුන් නාකොටික් සහ අනීතික දේවල් බන්ධනාගාරය තුළට ඒමට තිබෙන යාන්ත්‍රණය අඩපණ කළ බව තමා තේරෙන්නේ. ප්‍රහාරයට ලක්වෙන්නේ නිරායුධ නිලධාරීන් දෙදෙනෙක්. ඔවුන්ට පහර දෙනකොට අනිත් අය ඇවිත් තියෙන්නේ. බහුතරයක් නිලධාරීන් අමානුෂික පහරදීමට ලක්ව මියයන්නේ. දිවි හිමිවෙන් රැකියාව කරපු නිලධාරීන්ට මගේ ගෞරවය. යකඩ දොර කඩාගෙන ඔවුන් එතැනින් එළියට එනවා. දැනට තියෙන තොරතුරු අනුව ඔවුන් අතට යම් ආයුධයක් දෙකක් පත්වෙලා තියෙනවා. ඒක කොහොමද වුණේ කියලා විමර්ශනය හරහා හොයනවා. ඒ අවස්ථාවේ දී නිලධාරීන් ආත්මාරක්ෂාවට වෙඩි තබා තියෙනවා. ”






Leave a Reply