Loading...

ඊශ්‍රායල ප්‍රහාර හමුවේ හෝමුස් සමුද්‍ර සන්ධිය යළි වසයි

ඉරානය සහ අමෙරිකාව අතර පසුගිය බදාදා අත්සන් කෙරුණු මූලික සාම ගිවිසුමට අනුව විවෘත කෙරුණු හෝමුස් සමුද්‍ර සන්ධිය යළි වසා දැමීමට ඉරානය තීරණය කර තිබෙනවා.

ඒ, දකුණු ලෙබනනයට ඊශ්‍රායලය විසින් එල්ල කළ නවතම ප්‍රහාර හේතුවෙන් බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. මෙම ප්‍රහාරවලින් පුද්ගලයන් රැසක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, එය සාම ගිවිසුමේ මූලික කොන්දේසි උල්ලංඝනය කිරීමක් බවට ඉරානය චෝදනා කරනවා.

සාම ගිවිසුමේ පළමු වගන්තිය යටතේ අමෙරිකාව සහ එහි සහායක පාර්ශ්වයන් කලාපීය යුද ක්‍රියාමාර්ගවලින් වැළකී සිටීමට එකඟ වී තිබූ බව සඳහන්. එහෙත්, සිය රටේ ආරක්ෂාව සඳහා අවශ්‍ය පියවර ගැනීමේ අයිතිය තමන් සතු බව ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇති බවද වාර්තා වනවා.

මේ අතර, ඉරාන-අමෙරිකා සාම ක්‍රියාවලියේ මැදිහත්කාරී භූමිකාවක් ඉටු කරන පාකිස්තානයේ නියෝජිත පිරිසක් මේ වනවිට ඉරානයේ සංචාරයක නිරත වන බවත්, ඉදිරි තාක්ෂණික මට්ටමේ සාකච්ඡා සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බවත් වාර්තා වනවා.

එමෙන්ම, ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී ඉරාන සහ පාකිස්තාන නියෝජිතයන්ගේ මූලික සාකච්ඡා වටයක් ද පැවැත්වී ඇති අතර, ඉදිරි දිනවලදී අමෙරිකාව සහ ඉරානය අතර තාක්ෂණික සාකච්ඡා යළි ආරම්භ කිරීමේ හැකියාවක් පවතින බව විදෙස් වාර්තා පෙන්වා දෙනවා.

කෙසේ වෙතත්, කලාපයේ යළි උත්සන්න වන ආරක්ෂක අර්බුදය හේතුවෙන් එම සාකච්ඡාවල අනාගතය සම්බන්ධයෙන් තවදුරටත් අවිනිශ්චිතතාවයක් පවතින බවයි විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *