ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ඇළ මාර්ගයක් මත සූර්ය බලශක්ති පද්ධතියක් ඉදිකිරීමේ ‘Canal-Top Solar’ ව්‍යාපෘතිය සඳහා වන මූලික ශක්‍යතා අධ්‍යයනය මහියංගනයේ වියානා ඇළ ආශ්‍රිතව සිදුකර තිබෙනවා.
කිලෝමීටර් 20කට වැඩි දිගකින් යුත් වියානා ඇළ, පුනර්ජනනීය විදුලි බල උත්පාදනය සඳහා ඇති හැකියාව සහ ප්‍රදේශයේ පවතින ප්‍රශස්ත සූර්යාලෝක තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම ව්‍යාපෘතිය සඳහා තෝරාගෙන ඇති බව සඳහන්.
මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමෙන් ජාතික විදුලි පද්ධතියට පිරිසිදු බලශක්තිය එක් කිරීම පමණක් නොව, ඇළේ ජල වාෂ්පීභවනය අවම කිරීම, ජල උෂ්ණත්වය පාලනය කිරීම සහ හරිත හයිඩ්‍රජන් වැනි අනාගත බලශක්ති ව්‍යාපෘති සඳහා අවශ්‍ය පදනම සකස් කිරීම ද අපේක්ෂා කෙරෙනවා.
එමෙන්ම, ව්‍යාපෘතිය යටතේ ආරක්ෂිත විදුලි අලි වැටක් ස්ථාපනය කිරීමටද සැලසුම් කර ඇති අතර, එමඟින් වන අලින් ඇළට වැටීමේ අවදානම අවම කිරීමට හැකි වන බවයි වාර්තා වන්නේ.
ඒ අනුව, බලශක්ති නිෂ්පාදනය, ජල සම්පත් සංරක්ෂණය සහ වනජීවී ආරක්ෂාව යන අංශ එකවර ආවරණය කරන නවීන හරිත සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස ‘Canal-Top Solar’ ව්‍යාපෘතිය හඳුන්වා දී තිබෙනවා.
මෙම ව්‍යාපෘතියේ ප්‍රගතිය සම්බන්ධයෙන් විශේෂ ක්ෂේත්‍ර නිරීක්ෂණ චාරිකාවක් සහ සාකච්ඡාවක් පසුගිය 20 වැනිදා මහියංගනයේදී පැවැත්වුණු අතර, මහජන නියෝජිතයින් සහ ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය ඇතුළු ආයතනවල නිලධාරීන් රැසක් ඊට එක්ව සිටියා.







Leave a Reply