කොළඹ තුරඟ තරඟ පිටියේ පැවැති 2025 ආසියානු රග්බි පිරිමි ශූරතාවලියේ ප්ලේ-ඕෆ් තරඟයකදී ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (19) ඉහළම ශ්‍රේණිගත කිරීමේ ස්ථානයක් දිනා ගැනීමට සමත් වුණා.
මේ අනුව ආසියාවේ ප්‍රධාන කණ්ඩායම් 4 අතරට ශ්‍රී ලංකාව ඇතුළත් වුණා.
2027 රග්බි ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ මෙන්ම ආසියානු පළමු කාණ්ඩයේ රග්බි තරඟාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ තීරණාත්මක තරඟයකදී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීන් බවට පත්වුයේ මැලේසියාවයි.
මෙම තරඟයේ දී පළමු අර්ධයේ සිට මැලේසියානු ක්‍රීඩකයින්ට අදහාගත නොහැකි තරඟ රටාවක් දියත්කළ නයිජල් රත්වත්තේ ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් එම අර්ධය නිමාවන විට ලකුණු 33ට 07ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් වුණා.
ඉන්පසුව දෙවන අර්ධයේ දී තවත් ලකුණු 26ක් සිය ලකුණු පුවරුවට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් එක්කර ගන්නා අවස්ථාවේදී මැලේසියානු කණ්ඩායමට රැස්කර ගැනීමට හැකිවුයේ ලකුණු 12ක් පමණි.
මේ අනුව තරඟය අවසානයේ ලකුණු 59ට 19ක අති විශිෂ්ඨ ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ආසියාවේ සුපිරි කණ්ඩායම හතර තරඟ වදින පළමු කාණ්ඩයේ රග්බි තරඟාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණා.
මෙම ජයග්‍රහණය සමඟ රග්බි ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ බලාපොරොත්තුවද තවදුරටත් රඳවා ගැනීමට හැකි වනවා.
තරඟයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ඨ දස්කම් දැක්වූ දිනාල් ඒකනායක උත්සාහක දිනුම් ත්‍රිත්වයක් වාර්තා කරමින් තරඟයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස සම්මානය දිනාගත්තා.
මේ අනුව ආසියානු සුපිරි කණ්ඩායම් තරග වටයේදී ශ්‍රී ලංකාව, දකුණු කොරියාව, හොංකොං සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යට සමග තරගවැදීමට නියමිත අතර, ඉන් එක් කණ්ඩායමට ලෝක කුසලානයට පිවිසීමේ වරම් හිමි වෙනවා.
Leave a Reply