මැලේසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කංජිපානි ඉම්රාන්ගේ සමීපතමයෙකු බව කියන ‘රත්මලානේ සයිමා’ නමැත්තා වැඩිදුර විමර්ශන සඳහා පේරාදෙණිය පොලිස් ස්ථානය වෙත භාරදී තිබෙනවා.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ ඊයේ (10) රාත්‍රියේ ඔහු පේරාදෙණිය පොලීසිය වෙත භාරදී ඇති බවයි.
වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් විසින් රතු නිවේදන නිකුත් කර තිබූ සංවිධානාත්මක අපරාධකරුවෙකු මැලේසියානු පොලීසියේ සහ ජාත්‍යන්තර පොලීසියේ සහාය ඇතිව පසුගියදා අත්අඩංගුවට ගනු ලැබුවා.
ඔහු සමඟ රත්මලාන ප්‍රදේශයේ පදිංචි තවත් පුද්ගලයින් දෙදෙනෙකුද එහිදී අත්අඩංගුවට ගෙන තිබූ අතර, සැකකරුවන් තිදෙනා ඊයේ (10) පස්වරුවේ වැඩිදුර විමර්ශන සඳහා මෙරටට රැගෙන ආ බව පොලීසිය සඳහන් කළා.
ඒ අතරින් ප්‍රධාන සැකකරු 41 හැවිරිදි රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන්.
ඔහුට එරෙහිව මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු දෙකක් විභාග වෙමින් පවතිනවා.
ඉන් එක් නඩුවකට අදාළව 2014 වසරේදී පේරාදෙණිය පොලිස් වසමේදී ගිනිඅවි පෙන්වා පුද්ගලයෙකු පැහැරගෙන ගොස් තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙනවා.
අනෙක් නඩුව 2016 වසරේදී පුද්ගලයෙකුට වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම සම්බන්ධයෙන් විභාග වන බව පොලීසිය පවසනවා.
ඒ අනුව අදාළ සැකකරු වැඩිදුර විමර්ශන සඳහා පේරාදෙණිය පොලිස් ස්ථානය වෙත භාරදී තිබෙනවා.
මේ අතර, මැලේසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ අනෙක් සැකකරුවන් දෙදෙනා අද (11) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය සඳහන් කළා.







Leave a Reply