Loading...

රනිල් ඔයා දැන් පරක්කු වැඩියි – අනුර කුමාර දිසානායක

ගොවි ණය එක රැයකින් කපා දැමීම, රාජ්‍ය සේවක වැටුප් 24%කින් වැඩි කිරීම වැනි පුදුම සහගත පොරොන්දු දිය හැකි ප්‍රධානතම පුද්ගලයා රනිල් වික්‍රමසිංහ මහතා බව ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ඇල්පිටියේ දී රැළියක් අමතමින් ඔහු මේ බව සඳහන් කළා.

මෙපමණ තරම් විශාල ඡන්ද ගුණ්ඩු දෙමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ දක්වාම කටයුතු කරන්නේ පරණ ජනතාව අලුත් වී සිටින බව ඔහු තේරුම් නොගෙන බවද ඒ මහතා මෙහිදී කියා සිටියා.

“අපේ ප්‍රතිවාදීන් මෙතෙක් කලක් කිය කිය හිටපු අපිට දිනන්න බැහැ කියන කතාව දැන් වෙනස් කරලා. දැන් රනිල් කියනවා අපි බලයට ආවොත් ගෑස් නැතිවෙයිලු; ඔක්කොම ඉවරයිලු. ඒ ගොල්ලෝ සමාජය හමුවේ බියක් නිර්මාණය කරනවා. පරාජය වන නායකයෝ හැමදාම සමාජයට බියක් හදනවා. ඒ ගොල්ලෝ දිනන්නේ නැත්නම් ජාතිය අනතුරේලු; ආර්ථිකය අනතුරේලු. හැබැයි දිනපු ඒ ගොල්ලෝම තමයි මේ රටත් ජනතාවත් මුළුමනින්ම අනතුරේ දැම්මේ. දැන් සජිත් පිලත් කියනවා අපි ආවොත් රට අනතුරේලු.

මතක තියා ගන්න ඔය හැමෝටම වඩා මේ රට ගැනත් මේ රටේ ජනතාව ගැනත් ජාතික ජන බලවේගයේ අපිට වගකීමක් තිබෙනවා. ඒ ගොල්ලෝ වගකීම් විරහිතව කටයුතු කිරීමේ ප්‍රතිවිපාක තමයි අද අපි භුක්ති විඳින්නේ. දැනුත් එහෙමයි.

මීට මාසයක එකහමාරකට කලින් මේ රටේ රාජ්‍ය සේවකයන් විශාල උද්ඝෝෂණයක් කළා, ජීවත් වෙන්න පුළුවන් වැටුපක් දෙන්න කියලා. එතකොට රනිල් කිවුවා සතයක් වැඩි කරන්න බැහැ, වැඩි කළොත් රට කඩා වැටෙනවා කියලා.

මුදල් අමාත්‍යාංශ ලේකම් රාජ්‍ය සේවක වැටුප් වැඩි කළොත් වැට් බද්ද 21% දක්වා වැඩි කරන්න වෙනවා කියලා කිවුවා. මේක කිවුවේ පසුගිය ජූලි මාසයේ. දැන් කියනවා ජනවාරි ඉඳන් රුපියල් 25,000ක දීමනාවක් රාජ්‍ය සේවකයන්ට දෙනවලු. 24%ක වැටුප් වැඩි කිරීමක් කරනවාලු.

එයාට නම් එහෙම කියන්න පුළුවන්. ඇයි? එයා මේ සැරේ පරදිනවනේ. අද කැබිනට් මණ්ඩලයේ තීරණයක් අරන් සියලු ගොවි ණය කපා හරිනවලු. මේ විදියට වෙනකොට ජනතාව හිතනවා ඇති හැමදාම ඡන්ද තිබ්බොත් හොඳයි වගේ කියලා. මේවා පරාජය හමුවේ දෙන ව්‍යාජ පොරොන්දු. රනිල්ට අපි කියන්නේ ඔයා දැන් ප්‍රමාද වැඩියි කියලා.

ඔය ගොල්ලෝ මේ රට ගැන මේ රටේ ජනතාව ගැන හිතුවා නම් මේ ගොඩක් දේවල් කරන්න තිබුණේ මීට බොහෝ කාලෙකට කලින්. අද නටන්නෙ බලය ගිලිහී යනවා කියලා හිතනකොට; ජනතාව තමන් සමග නැහැ කියලා හිතන කොට. අන්න පරණ පුරුදු ඡන්ද ගුණ්ඩු දෙන්න පටන් අරන්. රනිල් තවමත් ඉන්නේ පරණ දේශපාලනයේ.

මේ රටේ ජනතාව තවදුරටත් ඡන්ද ගුණ්ඩුවලට අහුවෙන්නේ නැති බව, කුඩා කුඩා දීමනාවලින් මේ රටේ ජනතාව තවදරටත් රවටන්න බැරි බව දැන් ඔප්පු වී තිබෙනවා. ඔවුන් දැන් පරණ පුරුදු තැන් අතහැර ජාතික ජන බලවේගය වටා රොක්වෙමින් සිටිනවා. රනිල්ලාට දැන් ඒක ආපසු හරවන්න බැහැ.

දැන් නැවත කසු කුසුවක් යනවා, සජිත්ගෙයි රනිල්ගෙයි දෙවන පෙළේ අය අතර අපි බෙදිලා ගියොත් කපෝතියි. ඒ නිසා එකතු වෙන්න ක්‍රමයක් නැද්ද කියලා. ජාතික ජන බලවේගය මෙහෙම ගියොත් දිනනවා. අපි දෙගොල්ලෝම අමාරුවෙ වැටෙනවා. ඒ නිසා එකතු වෙන්න විදියක් නැද්ද කියලා. තවම දෙවෙනි පෙළ තමයි ඒ කතාව පටන් අරගෙන තිබෙන්නේ. ඒකටත් අපිට කියන්න තිබෙන්නේ දැන් පරක්කුයි කියලා.

දැන් මේ ගොඩනැගිලා තිබෙන ජනතා බලය, ඊට නායකත්වය දෙන ව්‍යාපාරය නැවත හරවන්න බැහැ. එය ජයග්‍රහණයෙන්ම කෙළවර කරනවා කියලා ජනතාව තීන්දු කරලා හමාරයි. අද අපේ ඡන්ද ව්‍යාපාරය ජනතාව අතට අරන් ඉවරයි. අපි නොදන්න විශාල මහජන බලයක් අපි වෙනුවෙන් දැන් ස්වේච්ඡාවෙන් වැඩ කරන්න පටන් අරන්. ඔවුන් දැන් ස්වේච්ඡාවෙන් ලියන්න කියන්න පටන් අරන් තිබෙනවා. දැන් කොහොමද රනිල් ඔයා මේක නතර කරන්නේ. මේක නතර කරන්න බැහැ. සහතික ලෙසම අපි ජයග්‍රහණය කරනවා.


හැබැයි අපිට ඕන සාමාන්‍ය ජයග්‍රහණයක් නොවෙයි. මේ රට අතිශය ගැඹුරු ප්‍රපාතයකට ඇදලා දාලා තිබෙන්නේ. ඒ නිසා රට ගොඩගන්න ස්ථාවර, ශක්තිමත් තීන්දු තීරණ කිහිපයක් ගන්න තිබෙනවා. මේ විදියටම රට ගලාගෙන යන්න ඕන නම් ලොකු ප්‍රශ්නයක


අපි තවදුරටත් පීනන්නෙ මේ ගලන ගඟේ මේ විනාශකාරී දිසාවට නම් රට අගාධයට වැටෙන එක අනිවර්යයයි. ජාතික ජන බලවේගය බලය ඉල්ලන්නේ මේ විනාශකාරී මාවතෙන් රට මුදා ගන්නයි. ඒ සඳහා ශක්තිමත් තීන්දු තීරණ ගත යුතුයි. එහෙම ගන්නනම් ජනතාගෙන් ශක්තිමත් ජන වරමක් අවශ්‍යයි. මේ රට හරි පැත්තට හරවන තීන්දු තීරණ ගන්නට හේතු වෙන්නේ ජනතාවගේ ඒ ශක්තිමත් ජනවරමයි.

ජාතික ජන බලවේගය බලය ඉල්ලන්නේ මේ රට ගොඩනඟන්න. මේ රට ලස්සන කරන්න. ලස්සන ජීවිතයක් මේ රටේ ජනතාවට උරුමකරලා දෙන්න. ඒ නිසා මේ මස 21 දිනට ජාතික ජන බලවේගය දිනවන්න පෙරට එන්න කියලා මම ඔබ සියලු දෙනාටම ආරාධනා කරනවා.”


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *