Loading...

ජනපති සහ IMF නියෝජිතයින් හමුවෙයි – බදු ගැනත් අවධානය යොමු වෙයි

ඉහළ වැට් බදු සහ අදායම් බදු හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ ඊයේ (03) ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණ ශ්‍රීනිවාසන් (Krishna Srinivasan), ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී ආචාර්ය පීටර් බ්‍රෙයර් (Dr. Peter Breuer) යන මහත්වරු ඇතුළු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ නියෝජිත පිරිසක් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු අවස්ථාවේදීයි.

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මහා භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන, ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකවරුන් වන මහාචාර්ය අනිල් ජයන්ත හා දුමින්ද හුලංගමුව යන මහත්වරුන් ඇතුළු ශ්‍රී ලංකාවේ ප්‍රධාන නිලධාරීන් පිරිසක්ද මෙම සාකච්ඡා සඳහා සහභාගී වී තිබෙනවා.

මෙහිදී ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර මේ වන විට ක්‍රියාත්මක වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධව සමාලෝචනයට ලක්ව ඇති බව සඳහන්.

එම මුල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනේ අරමුණු සමඟ ප්‍රතිපත්තිමය ලෙස රජයේ පුළුල් එකඟතාව නැවත වරක් මෙහිදී තහවුරු කළ ජනාධිපතිවරයා ජනතාව මත පැටවෙන පීඩනය ඉවත් කරන විකල්ප මාර්ගයන් ඔස්සේ එම අරමුණු වෙත ළඟාවීමේ වැදගත්කම ද අවධාරණය කර ඇති බවද වාර්තා කරනවා.

තවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර වැඩසටහනේ තුන්වන සමාලෝචනය ආරම්භ කිරීම පිළිබඳව ද මෙහිදී දෙපාර්ශ්වයේම අවධානය යොමු කෙරුණු අතර ඉදිරි මහ මැතිවරණය හේතුවෙන් යම් ප්‍රමාදයන් ඇති විය හැකි නමුත්, බාධාවකින් තොරව එම කටයුතු අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත සහතික වී තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *