Loading...

අවුරුදු 12ට අඩු දරුවන්, ගැබිණි සහ කිරි දෙන මව්වරුන් යොදා ගනිමින් ආහාර විකුණන වෙළෙද දැන්වීම් තහනම් කිරීමේ සුදානමක්

ළඳරුවන් වයස අවුරුදු 12ට අඩු දරුවන් ගැබිණි මව්වරුන් සහ කිරි දෙන මව්වරුන් යොදා ගනිමින් ආහාර පාන පිළිබඳව සිදුකරන වෙළෙඳ ප්‍රචාරයන් ඉදිරියේ දී සපුරා තහනම් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන ඒකකය තීරණය කර තිබෙනවා.

එම ඒකකයේ ප්‍රධානී නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ආනන්ද ජයලාල් මහතා මේ බව කියා සිටියේ ජුනි මාසයට යෙදී ඇති ජාතික පෝෂණ මාසය නිමිත්තෙන් මාධ්‍ය දැනුවත් කරමින් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ (05) මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මේ වන විට විකාශය වන වෙළෙඳ දැන්වීම් සම්බන්ධව කටයුතු නොකර බවයි ඒ මහතා මෙහිදී පෙන්වා දුන්නේ.

ආහාර පාන පිළිබඳව හැර අනෙක් වාණිජ භාණ්ඩ සඳහා ඉහත සඳහන් කළ කණ්ඩායම යොදා ගැනීම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය මැදිහත් නොවන බවද ඔහු සඳහන් කළා.

අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ අමාත්‍යාංශයේ නීති රීතිවල පටහැනිව යම් නිෂ්පාදන ආයතනයක් කටයුතු කළහොත් ඒ සම්බන්ධයෙන් වහාම නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවයි.

පුද්ගලයින් නොමඟ යවන සුළු ලේබලයක් භාවිතා කරමින් කිසියම් ආහාර පානයක් ප්‍රදේශයක අලෙවි වනවා නම් ඒ පිළිබඳව ක්‍රියා කිරීමට ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාට හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට පුර්ණ බලයක් හිමිව ඇති බවද ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *