Loading...

අකුරේගොඩ ඝාතනයේ වෙඩික්කරු දින 90ක් රඳවා ගෙන ප්‍රශ්න කිරීමට අවසර

අකුරේගොඩ දී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධව ඊයේ (21) අම්බලන්ගොඩ දෙල්දූව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් සැකකරුව දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාදී තිබෙනවා.

හෝමාගම කොට්ඨාශය අපරාධ විමර්ශන ඒකකය පවසන්නේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ ඇති බලතල අනුව මෙලෙස සැකකරු දින 90ක කාලයක් රඳවා ගෙන ප්‍රශ්න කිරීමට අවසර ලැබුණු බවයි.

මෙම සැකකරු ඝාතනයට සම්බන්ධ වූ එක් වෙඩික්කරුවෙක් බව පොලීසිය සඳහන් කරනවා.

අම්බලන්ගොඩ දෙල්දුවේ ප්‍රදේශයේ දී ඊයේ (21) පස්වරු 6.20ට පමණ අත්අඩංගුවට ගනු ලැබුවා.

හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබුණා.

නීතිඥවරයා T56 ගිනි අවියෙන් වෙඩි තැබීම මෙම සැකකරු බවට හෙළිව තිබෙනවා.

46 හැවිරිදි එම සැකකරු 2009 වසරේ දී ලබාදුන් පොදු සමා කාලයේ දී යුද හමුදාවෙන් නිත්‍යානුකූලව ඉවත් වූ අයෙකි.

අම්බලන්ගොඩ දෙල්දූව ප්‍රදේශයේ තම මිතුරෙකුගේ නිවසක නැවතී හිඳිමින් යාබද කුරුඳු ඉඩමක වැඩ කටයුතු කරමින් සිටියදී ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය විසින් එහිදී කළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු අදාළ ඝාතනය සිදු කළ බවට පිළිගෙන ඇති බව සඳහන්.

එම ඝාතනයෙන් පසු තමා කොට්ටාවට ආසන්න ස්ථානයකදී මෝටර් රථයෙන් බැස බස් රථයක නැග අම්බලන්ගොඩට පැමිණි බව මෙහිදී සැකකරු පවසා තිබෙනවා.

මත්ද්‍රව්‍ය සඳහා දැඩි ලෙස ඇබ්බැහි වූ මෙම සැකකරු කරන්දෙණියේ සුද්දා සමඟ සෘජු සබඳතා ඇති බව පොලීසිය පවසනවා.

මෙම ඝාතනය කරන්දෙණිය සුද්දා දුරකථනයෙන් තමන් අමතා ලබාදුන් කොන්ත්‍රාත්තුවක් මත සිදුකළ එකක් බව සැකකරු පොලිස් නිලධාරීන් ඉදිරියේ සඳහන් ඇත.

ඝාතනයෙන් පසුව සුද්දා තමාට රුපියල් ලක්ෂයක මුදලක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ලබාදුන් බවද අත්අඩංගුවට ගත් සැකකරු පවසා තිබෙනවා.

ප්‍රශ්න කිරීම්වලදී සැකකරු සඳහන් කර ඇත්තේ ඔහුට මීට පෙරද අවශ්‍ය සෑම අවස්ථාවකදීම කරන්දෙණිය සුද්දා මුදල් ලබාදී බවයි.

මොහු කරන්දෙණියේ සුද්දාගේ කුලී ඝාතකයෙකු ලෙස කටයුතු කර ඇති බවට පොලීසිය මේ වන විට සැකපළ කරනවා.

කෙසේ වෙතත් ඔහු විසින් සිදුකළ වෙනත් ඝාතන සම්බන්ධව මේ දක්වා අනාවරණය වී නැහැ.

බස්නාහිර පළාත දකුණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සාමන්ත විජේසේකර මහතාගේ උපදෙස් මත හෝමාගම කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජේෂ්ඨ පොලිස් අධිකාරී චන්දන ලියනගේ මහතාගේ අධීක්ෂණයෙන් හෝමාගම කොට්ඨාස විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති අමිල් ගෝවින මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්ෂක ආර්.එම්.ආර් චතුරංග ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ (21) රාත්‍රියේ වැඩිදුර විමර්ශන සඳහා බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාස වෙත රැගෙන විත් තිබුණා.

අකුරේගොඩ පිහිටි සුපිරි වෙළෙඳසැලක රථ ගාලේ දී පසුගිය 13වනදා නීතිඥවරයෙකු හා ඔහුගේ බිරිඳ නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙක් විසින් වෙඩි තබා ඝාතනය කළා.

පසුව පොලිස්පතිවරයාගේ උපදෙස් මත පොලිස් කණ්ඩායම් 12කින් විමර්ශන ක්‍රියාත්මක කෙරුණා.

එහි ප්‍රතිඵලයක් ලෙස වෙඩික්කරුවන් ඇතුළු සැකකරුවන් 9 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙහිදී සිදුකළ මුලික විමර්ශනවලදී ඝාතනයේ ගිනි අවි ප්‍රවාහනය කරමින් නීතිඥවරයාගේ වාහනය ගැන ඔත්තුව දුන් අතුරුගිරියේ පදිංචි එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙක් සහ එය සම්බන්ධීකරණය කළ පොල්ගස්ඕවිට ඩිලා නම් පුද්ගලයෙක් මුලික විමර්ශනවලදී අත්අඩංගුවට ගැනුණා.

තවද පොලිස් විශේෂ කාර්ය බලකායේ දකුණු පළාත් විශේෂ මෙහෙයුම් ඒකකය මඟින් කහදුව ඇත්කඳුර ප්‍රදේශයේ දී ඝාතනයට ආධාර අනුබල දුන් තවත් සැකකරුවන් 6 දෙනෙක් ඊයේ (21) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබුණා.

ඒ අතරවාරයේ දී මෙම ඝාතනයේ එක් වෙඩික්කරුවෙක් පන්නිපිටියේ හෝටලය වෙත රැගෙන ආ පුද්ගලයා කටුනායක ගුවන්තොටුපොලෙන් තායිලන්තය බලා පලා ගොස් ඇති බව හෙළිව ඇති බව සඳහන්.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *