විදේශ මුදල් හුවමාරු ප්‍රේෂණ පද්ධතියක ඇති වූ දෝෂයක් හේතුවෙන් ගණුදෙනුකරුවන් පිරිසකට නියමිත ප්‍රමාණයකට වඩා ඉහළ මුදලක් ගෙවීමේ සිදුවීමක් සම්බන්ධයෙන් මහජන බැංකුව නිල මාධ්‍ය ප්රකාශනයක් නිකුත් කරමින් කරුණු පැහැදිළි කිරීමක් සිදුකර තිබෙනවා.
අදාළ නිවේදනයට අනුව මෙම දෝෂය සිදුව ඇත්තේ 2023 මැයි මස සිට 2026 මාර්තු දක්වා වූ කාලය තුළයි.
අදාළ කාලසීමාවේදී එක් මුදලක් ඒකකයකින් විනිමය අනුපාතික පරිවර්ථනය වීමේදී සිදුවූ දෝෂයක් නිසා ඇතැම් ගණුදෙනුකරුවන්ට ලැබිය යුතු ප්‍රමාණයකට වඩා වැඩි මුදලක් ලැබී ඇති බව මහජන බැංකුව මෑතකදී හඳුනාගෙන ඇති බව සඳහන්.
මේ වන විටත් එම දෝෂය සම්පුර්ණයෙන්ම නිවැරදි කිරීමට බැංකුව කටයුතු කර ඇති බවද ඔවුන් එම නිවේදනයේ පෙන්වා දී තිබෙනවා.
මෙම සිදුවීම හඳුනාගත් වහාම බැංකුව අභ්‍යන්තර විමර්ශනයක් සිදු කර ඇති බව වාර්තා වනවා.
මහජන බැංකුව පවසන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළු නියාමන හා අධීක්ෂණ අධිකාරීන්ගේ උපදෙස් මත මේ සම්බන්ධව තවදුරටත් පරීක්ෂණයක් පවත්වමින් සිටින බවයි.
මෙම දෝෂය හේතුවෙන් සිදුවූ ඇස්තමේන්තුගත මුල්‍ය පාඩුව ආසන්න වශයෙන් රුපියල් මිලියන 656ක් වන බවද මහජන බැංකුව සඳහන් කරනවා.
මහජන බැංකුව නිකුත් කළ නිවේදනය පහතින්,
මහජන බැංකුව | மக்கள் வங்கி
PEOPLE’S BANK Pride of the Nation
16/05/2026
මාධ්‍ය ප්රකාශනය
මහජන බැංකුව විසින් විනිමය අනුපාත දෝෂයක් පිළිබඳ කරනු ලබන නිවේදනයයි.
මහජන බැංකුව, විදේශ මුදල් හුවමාරු සඳහා භාවිත කරන ප්‍රේෂණ පද්ධතියක් තුළ, 2023 මැයි මස සිට 2026 මාර්තු මස දක්වා වූ කාලය ඇතුළත එක් මුදල් ඒකකයකින් විනිමය අනුපාතිකය පරිවර්තනය වීමේදී සිදු වූ දෝෂයක් හේතු කොටගෙන යම් ගනුදෙනුකරුවන් පිරිසකට ලැබිය යුතු ප්‍රමාණයට වඩා ඉහළ මුදල් ප්‍රමාණයක් ලබාදී ඇති බව මෑතකදී හඳුනාගත් අතර, එසැණින් එය සම්පූර්ණයෙන්ම නිවැරදි කිරීමට කටයුතු කළ බව දැනුම් දෙමු.
මෙය හඳුනාගත් වහාම බැංකුව අභ්‍යන්තර විමර්ශනයක් සිදුකර අදාළ මෙහෙයුම් ක්‍රියාවලීන් වඩාත් ශක්තිමත් කරන ලදී. විනිවිදභාවය සහ විශිෂ්ට පටිපාටීන් වෙනුවෙන් අඛණ්ඩව කැපවී සිටින මූල්‍ය ආයතනයක් ලෙස මහජන බැංකුව, ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළු නියාමන සහ අධීක්ෂණ අධිකාරීන්ගේ උපදෙස් මත මෙම කරුණ පිළිබඳ තවදුරටත් පරීක්ෂණ පවත්වමින් සිටී.
මේ නිසා සිදු වූ ඇස්තමේන්තුගත මූල්‍යමය බලපෑම ආසන්න වශයෙන් රුපියල් මිලියන 656ක් වන අතර, එය දැනටමත් බැංකුව විසින් එම අදාළ කාලසීමාව තුළ ප්‍රකාශයට පත් කර ඇති ගිණුම් ප්රකාශනවලට ඇතුළත් වී ඇත. වත්මන් ගණන් බැලීම් වලට අනුව තවදුරටත් මින් කිසිදු මූල්‍යමය බලපෑමක් අපේක්ෂා නොකරයි.
මේ හා සම්බන්ධ ගනුදෙනු වලට අදාළ ගනුදෙනුකරුවන්ගෙන් නැවත අයකර ගැනීමේ ක්‍රියාවලිය මේ වන විට ආරම්භ කර ඇති අතර, එය සාර්ථකව සිදුවෙමින් පවතී.
එමෙන්ම මහජන බැංකුවේ එදිනෙදා බැංකු කටයුතු, ඩිජිටල් බැංකු පහසුකම් සහ ගනුදෙනුකාර සේවාව සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව සියලුම ගනුදෙනුකරුවන්ට සහ පාර්ශවකරුවන්ට දැනුම් දීමට කැමැත්තෙමු. මහජන බැංකුව රුපියල් ට්‍රිලියන 3.8ක් පමණ වන වත්කම්වලින් සමන්විත අතිශයින්ම ශක්තිමත් මූල්‍ය ආයතනයක් වන බැවින්, මේ තුළින් බැංකුවේ මූල්‍ය ස්ථාවරත්වය, ලාභය, ගනුදෙනුකාර ගිණුම් සහ තැන්පතුවල ආරක්ෂාවට ඉහළ බලපෑමක් සිදු නොවේ.
දීර්ඝ කාලයක් පුරා මෙරට ජනතාවට බැංකු පහසුකම් සමීප කළ මහජන බැංකුව, විශ්වාසය, ස්ථාවරත්වය සහ වගකීමෙන් යුත් ආයතනයක් ලෙස සිය මෙහෙයුම් ක්‍රියාවලිය සහ ගනුදෙනුකාර සේවාව ඉහළම ප්‍රමිතීන්ට අනුකූලව ඉදිරියටත් අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා කැපවී සිටී.







Leave a Reply