Loading...

,

ඉන්දියාවට ප්‍රහාර එල්ලකිරීමට පාකිස්තානු හමුදාවට අවසර ලබාදෙයි

පසුගිය 22 වනදා ඉන්දීය කාශ්මීරයේ පෙහෙල්ගාම් ත්‍රස්ත ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් ඉන්දියාව විසින් පාකිස්තැන පාලනය යටතේ පවතින කාෂ්මීර කලාපයේ ත්‍රස්තවාදී ඉලක්ක 09ක් වෙත ප්‍රහාර එල්ලකර තිබෙනවා.

පාකිස්තානය පැවසුවේ ඊයේ (06) මැදියම් රාත්‍රියේ සිට එල්ලකළ එම ප්‍රහාරවලින් සිවිල් වැසියන් 26 දෙනෙක් ජිවිතක්ෂයට පත්වී තවත් 46 දෙනෙක් තුවාල ලැබූ බවයි.

මියගිය පිරිස් අතර ළමුන් සිටින බවද වාර්තා වනවා.

කෙසේ වෙතත් ඉන්දීය ප්‍රහාරක යානා 5ක් බිම හෙලූ බවත් ඉන්දීය ප්‍රහාරයට නිසැක ලෙස ප්‍රතිචාර දක්වන බවත් පාකිස්තාන හමුදාව අවධාරණය කර ඇති බවද සඳහන්.

ඉන්දීය හමුදාව “ඔපරේෂන් සින්දූර්” ලෙස මෙම මෙහෙයුම නම් කර තිබෙනවා.

ඉන්දීය ආරක්ෂක පැවසුවේ මෙම ප්‍රහාර මාලාව පාකිස්තාන කාශ්මීරයේ නිශ්චිත ත්‍රස්තවාදී ඉලක්ක වෙත එල්ල කළ බවයි.

එම ප්‍රහාරයෙන් ඉස්ලාමීය දේවස්ථාන සහ සිවිල් වැසියන් දැඩි හානි සිදුවී ඇති බව පාකිස්තාන මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.

ඉන්දියාවේ මෙම ප්‍රහාරය නිර්දය ලෙස යුද ප්‍රකාශ කිරීමක් ලෙස හැඳින්වූ පාකිස්තාන හමුදා ප්‍රකාශක අහමඩ් ෆරීෆ් චවුද්රි ඊට නිසි ප්‍රතිචාර දැක්වීම සඳහා පාකිස්තානයට ඇති අයිතිය අවධාරණය කර තිබෙනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පැවසුවේ “ඉන්දීය ප්‍රහාරය හමුවේ පාකිස්තානයේ ස්වෛරීත්වය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කරගැනීම සඳහා ප්‍රතිචාර දැක්වීමට අපි අපේ සන්නද්ධ හමුදා, ගොඩබිම් හමුදා සහ ගුවන් හමුදාවන්ට උපදෙස් ලබා දුන්නා.

ඒ අනුව ඉන්දියාවට අයත් රෆාල් වර්ගයේ ප්‍රහාරක යානා 03ක්, එස්.යු. 30 ප්‍රහාරක යානයක් සහ මිග් 29 ප්‍රහාරයක යානයක් මෙන්ම ඩ්‍රෝන යානයක්ද බිම හෙලීමට ඔවුන් සමත් වුණා”.

මේ අතර පාකිස්තාන හමුදා ප්‍රකාශකවරයා කියා සිටියේ එරට ආරක්ෂක අංශ විසින් ඉන්දීය ගුවන් යානා 5ක් මේ වන විට වෙඩි තබා බිමහෙලා ඇති බවයි.

කෙසේ වෙතත් ඉන්දීය රජය මේ බව දක්වා තහවුරු කර නැහැ.

මෙවැනි පසුබිමක ජම්මු කාශ්මීරයේ පුල්වාමා දිස්ත්‍රික්කයේ ගම්මානයකට කඩා වැටී තිබූ ප්‍රංශයේ නිෂ්පාදිත ප්‍රහාරක ජෙට් යානයක සුන්බුන්වල දර්ශන ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබුණා.

මේ අතර පාකිස්තාන හමුදාව ඉන්දීය කාශ්මීරයේ දේශසීමා ප්‍රදේශයට ෂෙල් වෙඩි ප්‍රහාර එල්ලකර ඇති අතර එහිදී සිවිල් වැසියන් 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව 48 දෙනෙක් තුවාල ලැබූ බව ඉන්දීය පොලීසිය සඳහන් කළා.

මාධ්‍ය හමුවක් පවත්වමින් ඉන්දීය විදේශ ලේකම් වික්‍රම මිස්රි පැවසුවේ පෙහෙල්ගාම් ප්‍රහාරයට පාකිස්තානය සම්බන්ධ බව ඉන්දීය බුද්ධි සේවාවන් තහවුරු කර ඇති බවයි.

මේ අතර ඉන්දියාවේ ප්‍රහාරවලට ප්‍රතිචාර දැක්වීම සඳහා පාකිස්තානු සන්නද්ධ හමුදාවන්ට බලය පවරා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ්ගේ කාර්යාලය නිවේදනය නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇති බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *