Loading...

ශිරාන් බාසික් දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියෝග

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන ශිරාන් බාසික් නමැත්තා දින 90ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය පියවර ගෙන තිබෙනවා.

ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන පසුව පිටුවහල් කරනු ලැබූ ඔහු පසුගිය 14 වැනිදා ශ්‍රී ලංකාවට රැගෙන එනු ලැබුවා.

කටුනායක ගුවන්තොටුපළට පැමිණීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ගුවන්තොටුපළ ඒකකයේ නිලධාරීන් විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇති අතර, මූලික ප්‍රශ්න කිරීම්වලින් පසුව වැඩිදුර විමර්ශන සඳහා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට භාරදී තිබෙනවා.

ප්‍රශ්න කිරීම්වලදී ශිරාන් බාසික් පවසා ඇත්තේ ඩුබායිහි සාප්පු සංකීර්ණයක සිටියදී එරට පොලිසිය විසින් පරීක්ෂා කළ බවයි.

එම අවස්ථාවේදී ඔහුගේ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී ඉරානය විසින් ඩුබායි වෙත එල්ල කළ ප්‍රහාරවල දර්ශන හමුවීමෙන් පසු තමන් අත්අඩංගුවට ගත් බවද ඔහු පවසා තිබෙනවා.

තමන් ශ්‍රී ලංකාවට පිටුවහල් කරන තුරු ඩුබායි පොලිසිය දිනපතා ඉරානය සමඟ පැවති සබඳතා සම්බන්ධයෙන් ප්‍රශ්න කළ බවත්, පසුව ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා ගුවන් ටිකට්පතක් මිලදී ගන්නා ලෙස එරට බලධාරීන් දැනුම්දුන් බවත් ඔහු ප්‍රකාශ කර ඇති බව සඳහන්.

මේ අතර, මත්ද්‍රව්‍ය චෝදනාවකට අදාළව ශ්‍රී ලංකා පොලිසිය විසින් නිකුත් කර තිබූ රතු නිවේදනයක් පසුව ඉවත් කර තිබූ අතර, යළි රතු නිවේදනයක් ලබාගැනීමට සූදානම් වන අවස්ථාවේදී ඔහු මෙලෙස අත්අඩංගුවට පත්ව ඇති බවද වාර්තා වනවා.

ශිරාන් බාසික් 2018 වසරේ ජුනි 2 වැනිදා නීත්‍යානුකූලව ශ්‍රී ලංකාවෙන් ඩුබායි බලා පිටත්ව ගොස් ඇති අතර, එහිදී අධි සුඛෝපභෝගී ජීවිතයක් ගත කරමින් ව්‍යාපාර දෙකක් පවත්වාගෙන ගොස් ඇති බවටද තොරතුරු අනාවරණය වී තිබෙනවා.

සැකකරු සම්බන්ධ වැඩිදුර විමර්ශන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් ආරියවංශ යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ සිදුකෙරෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *