ගල් අඟුරු මගින් සිදුකරන විදුලි නිෂ්පාදනය සීමා කළ ද, ප්‍රමාණවත් පරිදි ජල විදුලි උත්පාදනය සිදුකරන බැවින් දිවයිනේ විදුලි සැපයුමට කිසිදු බාධාවක් එල්ල වී නොමැති බව බලශක්ති අමාත්‍යාංශය පවසනවා.
බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සඳහන් කළේ, ගල් අඟුරු සංචිත අවම වීම හේතුවෙන් නොරොච්චෝලේ බලාගාරයේ විදුලි උත්පාදන කටයුතු සීමා කිරීමට පියවර ගත් බවයි.
කෙසේ වෙතත් ගල් අඟුරු රැගත් නෞකා දෙකක් ඉදිරියේදී දිවයිනට ළඟාවීමට නියමිත අතර, ඉන් පළමු නෞකාව හෙට (04) දිනයේත්, දෙවන නෞකාව ලබන 12 වන දිනත් දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.
එම නෞකාවලින් ගල් අඟුරු ගොඩබෑමෙන් අනතුරුව විදුලි නිෂ්පාදන කටයුතු සාමාන්‍ය පරිදි සිදුකරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසනවා.
පවතින තත්ත්වය හමුවේ විදුලි කප්පාදුවක් සිදුකිරීමේ කිසිදු අවශ්‍යතාවක් නැති බවත්, ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇති කර නොගන්නා ලෙසත් අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
මේ අතර, ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදනය බරපතළ ගැටලුවකට ලක්ව ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි. ඉදිරියේදී විදුලි ගාස්තු ඉහළ නොදමන ලෙස ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම වෙත ඉල්ලීමක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.







Leave a Reply