ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 16ට අඩු දරුවන්ගේ සමාජ මාධ්‍ය ප්‍රවේශය සීමා කිරීමේ අරමුණින් පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.
විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාෆා මහතා විසින් ඉදිරිපත් කර ඇති “සමාජ මාධ්‍ය අවම වයස් සීමා පනත් කෙටුම්පත” මගින් දරුවන් හානිකර අන්තර්ජාල අන්තර්ගතයන් සහ ක්‍රියාකාරකම්වලට නිරාවරණය වීම වැළැක්වීම මෙන්ම සමාජ මාධ්‍ය සහ අන්තර්ජාල සේවා සපයන්නන් සඳහා නියාමන රාමුවක් හඳුන්වා දීම අපේක්ෂා කරන බව සඳහන්.
යෝජිත පනත් කෙටුම්පත අනුව, ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන සමාජ මාධ්‍ය සේවා සපයන්නන්ට වයස අවුරුදු 16ට අඩු දරුවන්ගේ ප්‍රවේශය වැළැක්වීමට හෝ වයස් සීමාවට යටත් පරිශීලකයන් සඳහා විශේෂ සීමා පැනවීමට හැකි වනු ඇති.
එමෙන්ම දරුවන්ට ඇතැම් මාර්ගගත සේවාවන් භාවිත කළ හැකි කාලය සහ දිනක භාවිත කළ හැකි පැය ගණන සීමා කිරීම සඳහා ද විධිවිධාන ඇතුළත් කර තිබෙනවා.
මෙම සීමා ක්‍රියාත්මක කිරීම සඳහා අන්තර්ජාල සේවා සපයන්නන් සහ සමාජ මාධ්‍ය වේදිකාවන් වෙත අවශ්‍ය නියෝග සහ රෙගුලාසි නිකුත් කිරීමේ බලය අදාළ විෂය භාර අමාත්‍යවරයාට හිමි වන බව ද පනත් කෙටුම්පතේ දැක්වෙනවා.
පනත් කෙටුම්පත යටතේ ජාතික ළමා ආරක්ෂක අධිකාරියට අනුබද්ධ බලයලත් කොමසාරිස්වරයෙකු පත් කිරීමේ යෝජනාවක් ද ඇතුළත් වන අතර, පැමිණිලි භාර ගැනීම, විමර්ශන පැවැත්වීම සහ නීතිය බලාත්මක කිරීම ඔහුගේ හෝ ඇයගේ වගකීම් ලෙස සඳහන්.
මෙම පනත් කෙටුම්පත අනුව “දරුවෙකු” ලෙස අර්ථ දැක්වෙන්නේ වයස අවුරුදු 16ට අඩු පුද්ගලයෙකු වන අතර, “වයස් සීමාවට යටත් පරිශීලකයා” ලෙස හඳුන්වනු ලබන්නේ වයස අවුරුදු 16ට නොපැමිණි ශ්‍රී ලාංකික දරුවෙකි.
පනත් කෙටුම්පත සම්මත වුවහොත්, ශ්‍රී ලංකාව තුළ පරිශීලකයන්ට සේවා සපයන නිශ්චිත සමාජ මාධ්‍ය සේවා සපයන්නන් වෙත එය අදාළ වනු ඇති.






Leave a Reply