Loading...

නාමල්ට හෙට පාර්ලිමේන්තුවට යන්න අවසර ලැබෙයි

මේ සතියේ දී පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීම් සඳහා සහභාගී වීමට අවශ්‍ය පහසුකම් සලසා දෙන ලෙස රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතා කළ ඉල්ලීමට පාර්ලිමේන්තු මහ ලේකම්වරිය ප්‍රතිචාර දක්වා තිබේ.

අදාළ ඉල්ලීමට අනුව, පාර්ලිමේන්තු මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිපියක් යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව, නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තු රැස්වීම් සඳහා පැමිණීමට අවශ්‍ය කටයුතු සූදානම් කරන ලෙස මහ ලේකම්වරිය විසින් බන්ධනාගාර බලධාරීන්ට දැනුම් දී ඇත.

මෙම දැනුම්දීමට අනුව නාමල් රාජපක්ෂ මහතා හෙට (08) දිනයේදී බොහෝ දුරට පාර්ලිමේන්තු රැස්වීම සඳහා පැමිණීමට ඉඩ ඇති බවයි වාර්තා වන්නේ. පාර්ලිමේන්තුව හෙට සිට ලබන 11 වැනිදා දක්වා රැස්වීමට නියමිතව තිබේ.

අතිශය ආන්දෝලනාත්මක එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 02ක අල්ලසක් ලබාගත් බවට වන සැකය මත අත්අඩංගුවට ගත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාව, ලබන සැප්තැම්බර් 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහාධිකරණය විසින් පසුගිය සැප්තැම්බර් 04 වැනිදා නියෝග කරන ලදී.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *