Loading...

වැඩ තහනම් වූ මහා භාණ්ඩාගාර නිලධාරියාගේ මරණය ගැන තවත් තොරතුරු එළියට

මුදල් අමාත්‍යාංශය සතු අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක අස්ථානගත වූ සිද්ධිය සම්බන්ධව වැඩ තහනමට ලක්ව සිටි මහ භාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ රංග රාජපක්ෂ මහතාගේ අභිරහස් මරණය සම්බන්ධව මේ වන විට තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා.

වැඩ තහනමට ලක්ව සිටින මහා භාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව සහකාර අධ්‍යක්ෂවරයා සැක කටයුතු ලෙස මියගොස් ඇති බවට කුලියාපිටිය පොලීසියට අද (30) පස්වරුවේ තොරතුරක් ලැබී තිබුණා.

පොලීසිය සඳහන් කළේ ඔහු ගෙවත්තේ වැටී සිටි අයුරු දුටු දියණිය ඒ පිළිබඳව මවට දැනුම් දීමෙන් පසුව ඇය විසින් පොලීසිය දැනුම්වත් කර ඇති බවයි.

මේ අනුව පොලීසිය කුලියාපිටිය පහළ වීරඹේ ප්‍රදේශයේ පිහිටි ඒ මහතා නිවසට ගොස් සිදුකළ පරික්ෂා කිරීමේ දී ගෙවත්තේ කෙසෙල් පඳුරක් අසල තරමක විශාල ලේ පැල්ලමක් තිබෙන අයුරු නිරීක්ෂණ කර තිබෙනවා.

තවද රාජපක්ෂ මහතාගේ පාදයක සහ අතක කැපුම් තුවාල තුනක් දක්නට ලැබෙන බව පොලීසිය පවසනවා.

තවද ඔහු වැටී සිටි ස්ථානය ආසන්නයේ තිබී කුඩා ප්‍රමාණයේ පිහියක් ද හමුව තිබෙනවා.

මේ අනුව මෙය සැකකටයුතු මරණයක් ලෙස සලකා පොලීසිය ඒ සම්බන්ධව විමර්ශන ආරම්භ කළා.

ඒ අනුව මෙය ඝාතනයක් ද නැතහොත් සියදිවි නසා ගැනීමක් ද යන්න සම්බන්ධව විමර්ශන ක්‍රියාත්මකයි.

එම ස්ථානයට කුලියාපිටිය මහේස්ත්‍රාත්වරිය අද (30) පස්වරුවේ පැමිණ මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කළා.

මුදල් අමාත්‍යාංශය සතු අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක් අස්ථානගත වූ සිද්ධිය පිළිබඳව සිදුකරන විමර්ශනවලට අදාළව ඔහු අවස්ථා තුනකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබුණා.

ඔහු එලෙස කැඳවා ඇත්තේ සේවයේ නිරතව සිටින සමයේ එක් අවස්ථාවකත් වැඩ තහනමට ලක්ව සිටින සමයේ අවස්ථා දෙකකදීත් ලෙසයි.

ඒ සෑම අවස්ථාවකදීම ඔහු පැමිණ විමර්ශන සඳහා සහාය ලබාදී ඇති බවත් ඔහුගේ පරිගණකය ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබූ බවත් විමර්ශන නිලධාරීන් සඳහන් කරනවා.

මේ දක්වා සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ හකර්වරුන් විසින් ව්‍යාජ ඊමේල් පණිවුඩය මඟින් ලබාදුන් බැංකු ගිණුමට මුදල් බැර කිරීමේ මුලික පියවර මෙම නිලධාරියාගේ නොසැලකිල්ල මත සිදුව ඇති බවයි.

හකර්වරුන් විසින් එවන ලද පළමු ඊමේල් පණිවුඩයට මෙම පුද්ගලයා විසින් ප්‍රතිචාර දක්වා ඇති බව සඳහන්.

මොහුට අධිකරණය මඟින් විදෙස් ගමන් තහනමක් ද පනවා තිබෙනවා.

ඔහුගේ පසුබිම පිළිබඳව සිදුකළ පරික්ෂා කිරීමේදී ඒ මහතා දූෂිත නිලධාරියෙක් නොවන බවට මුලික විමර්ශනවලදී හෙළිව ඇති බව වාර්තා වනවා.

ඔහු අත්අඩංගුවට ගැනීමට තරම් කරුණු වාර්තා වීමක් නොවූ බවද විමර්ශන නිලධාරීන් පවසනවා.

කෙසේ වෙතත් වැඩ තහනමට ලක්වීමෙන් අනතුරු මෙම පුද්ගලයා සිත්තැවුලෙන් සිට ඇති බවද වාර්තා වනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *