මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ ඇතැම් නඩුවලදී මහාධිකරණයෙන් ඇප ලබාගැනීමේ හැකියාව යළි ලබාදීම සඳහා නීති සංශෝධනයක් සිදුකරන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසනවා.
බන්ධනාගාර කිහිපයක මෑතකදී ඇති වූ නොසන්සුන්කාරී සිදුවීම් සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ, මත්ද්‍රව්‍යවල ශුද්ධ බර ග්‍රෑම් 10 ඉක්මවන නඩුවලදී ඇප ලබාගැනීම සඳහා අභියාචනාධිකරණයට යොමුවීමට සිදුවීම හේතුවෙන් සැලකිය යුතු ප්‍රමාදයක් ඇති වන බවට රැඳවියන්ගේ ඥාතීන් පෙන්වා දී ඇති බවයි.
ඒ අනුව, එම නීතිමය තත්ත්වය සංශෝධනය කර මහාධිකරණයෙන් ඇප ලබාගැනීමේ හැකියාව නැවත ලබාදීම සඳහා අමාත්‍ය මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කරන බවද ඔහු ප්‍රකාශ කළා.
අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, රස පරීක්ෂක වාර්තා ප්‍රමාද වීම හේතුවෙන් බොහෝ සැකකරුවන්ට දීර්ඝ කාලයක් රිමාන්ඩ් භාරයේ රැඳී සිටීමට සිදුව ඇති බවයි.
රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ පැවති පුරප්පාඩු පිරවීම සඳහා නව කාර්ය මණ්ඩලයක් බඳවාගෙන ඇති අතර, නව උපකරණ ද මේ මාසයේ සිට භාවිතයට එක් කිරීමත් සමඟ රස පරීක්ෂක වාර්තා නිකුත් කිරීමේ වේගය සැලකිය යුතු ලෙස ඉහළ නැංවීමට හැකි වනු ඇති බවද ඔහු කියා සිටියා.
එමෙන්ම, බන්ධනාගාර තුළ මතුව ඇති නොසන්සුන්තාවන් පිටුපස කූඨ අරමුණු ඇති පිරිස් ක්‍රියාත්මක වන බවට චෝදනා කළ අමාත්‍යවරයා, රැඳවියන්ගෙන් ඉවසීමෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටියා.
බන්ධනාගාරවල අධික තදබදය සහ පහසුකම් හිඟය විසඳීම සඳහා රජය පියවර ගනිමින් සිටින බවත්, රැඳවියන්ගේ ගැටලු විසඳීමට අවශ්‍ය නීතිමය හා පරිපාලනමය වෙනස්කම් කඩිනමින් ක්‍රියාත්මක කරන බවත් අධිකරණ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.








Leave a Reply