මහර බන්ධනාගාරයේ ඊයේ (01) හටගත් නොසන්සුන්කාරී තත්ත්වය මේ වන විට සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බව පොලීසිය සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.
බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුම්කාරී තත්ත්වය අතරතුර රැඳවියන් පිරිසක් බන්ධනාගාරයෙන් පලායෑමට අවස්ථා කිහිපයකදී උත්සාහ කර ඇති අතර, ආරක්ෂක අංශ එම සියලු උත්සාහයන් ව්‍යර්ථ කිරීමට සමත් වී තිබෙනවා.
නොසන්සුන්තාව මැඩපැවැත්වීම සඳහා විශේෂ කාර්ය බලකාය, පොලීසිය සහ යුද හමුදාව යෙදවූ අතර, ගුවන් හමුදාව බෙල් 412 හෙලිකොප්ටරයක් සහ ඩ්‍රෝන යානයක් යොදා ගනිමින් බන්ධනාගාර පරිශ්‍රය ගුවන් මාර්ගයෙන් නිරීක්ෂණය කර තිබුණා.
සිද්ධිය අතරතුර රැඳවියන් 7 දෙනෙකු තුවාල ලබා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර, ඉන් එක් රැඳවියෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මේ අතර නොසන්සුන්තාව හේතුවෙන් බන්ධනාගාරයේ දේපොළ රැසකට දැඩි හානි සිදුව ඇති බව ද වාර්තා වනවා. පරිපාලන ගොඩනැගිලි සහ වැදගත් ලිපිලේඛනවලට ගිනි තබා විනාශ කර ඇති අතර, මුළුතැන්ගෙය, පුනරුත්ථාපන ගොඩනැගිල්ල, පුනරුත්ථාපන කාර්යාලය, ප්‍රධාන ජේලර් කාර්යාලය සහ බන්ධනාගාර රෝහලට ද බරපතළ හානි සිදුව ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළා.
රැඳවියන් බැලීමට පැමිණි ඥාතීන්ට බන්ධනාගාරයට ඇතුළුවීමට අවසර නොලැබීමත් සමඟ බන්ධනාගාරය ඉදිරිපිට ද නොසන්සුන් තත්ත්වයක් හටගත් අතර, බන්ධනාගාරය තුළින් ඇසුණු වෙඩි හඬට සමාන ශබ්ද හේතුවෙන් ඇතැම් පිරිස් පොලිස් මාර්ග බාධක බිඳගෙන ඉදිරියට යාමට උත්සාහ කර තිබුණා. එහිදී ආරක්ෂක අංශ තත්ත්වය පාලනය කිරීමට පියවර ගත් අතර, ඔවුන් වෙත ගල් ප්‍රහාර ද එල්ල වූ බව වාර්තා වනවා.
පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් මහර ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් කිහිපයකට පොලිස් ඇඳිරි නීතිය පැනවූ අතර, අද පෙරවරුව වන විට බන්ධනාගාරයේ තත්ත්වය සාමාන්‍ය අතට පත්කර ඇති බව පොලීසිය සඳහන් කළා.
මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් ආරම්භ කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක මහතා ප්‍රකාශ කළා.
නොසන්සුන්තාවට හේතු වූ කරුණු මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ඒ පිළිබඳ සියලු අංශ ඔස්සේ විමර්ශන ක්‍රියාත්මක බව ද ඔහු සඳහන් කළා.
මේ වන විට මහර බන්ධනාගාරය තුළ තත්ත්වය සාමකාමී බවත්, බන්ධනාගාරය ඉදිරිපිට රැඳී සිටින ඥාතීන් සාමකාමීව ඉවත්ව යන ලෙසත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කර තිබෙනවා.







Leave a Reply