මහර බන්ධනාගාරයේ ඊයේ (01) හටගත් නොසන්සුන්තාව මේ වන විට සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බව ආරක්ෂක අංශ පවසනවා.
රැඳවියන් සහ බන්ධනාගාර නිලධාරීන් අතර ඇති වූ උණුසුම් තත්ත්වයක් දුරදිග යාමෙන් මෙම සිද්ධිය හටගෙන ඇති අතර, එහිදී තුවාල ලැබූ රැඳවියන් 7 දෙනෙකු රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා. ඉන් එක් රැඳවියෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
නොසන්සුන්තාව මැඩපැවැත්වීම සඳහා විශේෂ කාර්ය බලකාය, යුද හමුදාව සහ පොලීසිය කැඳවා තිබූ අතර, ගුවන් හමුදාව බෙල් 412 හෙලිකොප්ටරයක් සහ ඩ්‍රෝන යානයක් යොදා ගනිමින් බන්ධනාගාර පරිශ්‍රය ගුවන් නිරීක්ෂණයට ද ලක් කළා.
සිද්ධිය අතරතුර රැඳවියන් විසින් ප්‍රධාන ජේලර්වරයාගේ කාර්යාලයට සහ විනය අංශයට ගිනි තබා ඇති බව ද වාර්තා වනවා.
මේ අතර රැඳවියන් බැලීමට පැමිණි ඥාතීන්ට බන්ධනාගාරයට ඇතුළුවීමට අවසර නොලැබීම හේතුවෙන් බන්ධනාගාරය ඉදිරිපිට ද උණුසුම් තත්ත්වයක් නිර්මාණය වුණා.
බන්ධනාගාරය තුළින් වෙඩි හඬට සමාන ශබ්ද කිහිපයක් ඇසීමත් සමඟ ඥාතීන් සහ ප්‍රදේශවාසීන් පොලිස් මාර්ග බාධක ඉවත් කර ඉදිරියට යාමට උත්සාහ කළ අතර, එහිදී ආරක්ෂක අංශ තත්ත්වය පාලනය කළ බවයි වාර්තා වන්නේ. එම අවස්ථාවේදී ආරක්ෂක අංශ වෙත ගල් ප්‍රහාර ද එල්ල වී තිබෙනවා.
පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් මහර ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් කිහිපයකට නැවත දැනුම්දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති අතර, එය මහජන සාමය සහ ආරක්ෂාව තහවුරු කිරීමේ පියවරක් බව පොලීසිය සඳහන් කළා.
මේ අතර ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා මහතා සහ නව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මහතා ඊයේ රාත්‍රියේ මහර බන්ධනාගාරයට පැමිණ සිද්ධිය පිළිබඳ සොයා බැලුවා.
අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා සඳහන් කළේ, තුවාල ලැබූවන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබාදෙමින් සිටින අතර, අදාළ සියලු ආරක්ෂක අංශ සමඟ සාකච්ඡා කර බන්ධනාගාරයේ ආරක්ෂාව තවදුරටත් ශක්තිමත් කිරීමට පියවර ගෙන ඇති බවයි. එමෙන්ම බන්ධනාගාරය තුළ හටගත් ගින්න ද මේ වන විට පාලනය කර ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.







Leave a Reply