යෝජිත අනුරාධපුර පූජාභූමි සංවර්ධන සැලැස්ම සම්බන්ධයෙන් අස්ගිරි සහ මල්වතු පාර්ශ්වයේ මහා නායක හිමිවරුන් දැනුම්වත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
ජනාධිපතිවරයා විසින් පත් කළ යෝජිත අනුරාධපුර පූජාභූමි සංවර්ධන සැලැස්ම සම්බන්ධ ජනාධිපති උපදේශක සභාවේ සම සභාපති, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි ප්‍රභාත් චන්ද්‍රකීර්ති ඇතුළු නිලධාරීන් පිරිසක් විසින් මෙම දැනුම්වත් කිරීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.
අනුරාධපුර පූජාභූමිය බෞද්ධ උරුමයේ මුදුන්මල්කඩක් බවත්, එහි බෞද්ධ උරුමය මෙන්ම පුරාවිද්‍යාත්මක වටිනාකම ආරක්ෂා වන ආකාරයෙන් සංවර්ධන කටයුතු සිදු කිරීමේ වැදගත්කමත් මෙහිදී මහ නාහිමිවරුන් අවධාරණය කර තිබෙනවා.
අටමස්ථානය වැඳපුදා ගැනීමට පැමිණෙන බැතිමතුන්ගේ සනීපාරක්ෂක සහ ප්‍රවාහන පහසුකම් සැලසීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡාවට ලක් වූ බව සඳහන්.
මාධ්‍ය වෙත අදහස් දැක්වූ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි ප්‍රභාත් චන්ද්‍රකීර්ති සඳහන් කළේ, බෞද්ධ හා පුරාවිද්‍යාත්මක උරුමයන් ආරක්ෂා කරමින් බැතිමතුන්ගේ පහසුකම් වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් මහා නායක හිමිවරුන්ගේ කිසිදු විරෝධතාවයක් නොමැති බවයි.
මේ අතර අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියන් පැවසුවේ, මෙවැනි සංවේදී කරුණක් සම්බන්ධයෙන් සාකච්ඡාවෙන් හා සම්මුතියෙන් කටයුතු කිරීම වඩාත් සුදුසු බවයි.







Leave a Reply