කිසිඳු ගෑස් හිඟයක් ඇති නොවන බව ලිට්රෝ ගෑස් සමාගම පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් මේ බව සඳහන් කරනවා.
එම සමාගම පෙන්වා දෙන්නේ ප්රමාණවත් පරිදි තොග පවතින බවයි.
ලිට්රෝ ගෑස් සඳහා වෙළෙඳපොළ ඉල්ලුමේ අනපේක්ෂිත වැඩි වීම හේතුවෙන් ගෑස් සැපයුමට යම් බාධාවක් ඇති බවත් පෙබරවාරි 17 සහ පෙබරවාරි 18 යන දිනවල දැනටමත් ගෘහස්ථ පිරවුම් සිලින්ඩර 284000ක් නිකුත් කර ඇති බවත් එම සමාගම පවසනවා.
ලිට්රෝ ගෑස් සමාගම ප්රකාශ කරන්නේ අද (19) සිට සෙනසුරාදා දක්වා තවත් ගෘහස්ථ පිරවුම් සිලින්ඩර 351000ක් නිකුත් කිරීමට තීරණය කර ඇති බවයි.
සමාගම් අවශ්ය පරිදි ප්රමාණවත් තොග මේ වන විට ඇනවුම් කර ඇති බවද එම සමාගම පෙන්වා දෙනවා.
ලිට්රෝ සමාගම වැඩිදුරටත් කියා සිටින්නේ සැපයුම තවදුරටත් ස්ථාවර කිරීම සඳහා මෙම මාසය අවසන් වීමට පෙර ගෑස් නැව් 3ක් මෙරට පැමිණීමට නියමිත බවයි.
මේ අතර ගෑස් හිඟය සම්බන්ධයෙන් අද (19) පාර්ලිමේන්තුවේ දී ද අවධානය යොමු වුණා.
එහිදී වෙළෙඳ අමාත්ය වසන්ත සමරසිංහ මහතා පැවසුවේ ලාෆ් පාරිභෝගිකයා ලිට්රෝ ගෑස් වෙත විතැන්වීම මෙම තත්ත්වයට බලපෑ බවයි.
“පසුගිය සතියේ දවස් දෙකක් තුනක් තිස්සේ ලාෆ් ගෑස් සමාගම, ගෑස් බෙදාහරින එක නතර කරලා තියෙනවා. ඒ නිසා ගෑස් පාරිභෝගිකයා තුළ බියක් ඇති වෙලා තියෙනවා, ඒ පාරිභෝගිකයා දැන් ලිට්රෝ ගෑස්වලට මාරු වෙලා තියෙනවා. ඒ නිසා ගෑස් වෙළඳපොළේ ඇති වුණ හදිසි ඉල්ලුම නිසා අද, හෙට සහ අනිද්දා මෙට්රික් ටොන් 1500ක් නිදහස් කරන්න සැලැසුම් කරලා තියෙනවා. සාමාන්යයෙන් අපි දවසකට නිදහස් කළේ, මෙට්රික් ටොන් 1200යි.
ලිට්රෝ ගෑස් හිඟයක් ඇති වෙන්න අපි ඉඩ දෙන්නේ නැහැ. ඉරිදා එනවා එක නැවක්, අඟහරුවාදා එනවා තව නැවක්, ඒ විදිහට නැව් ටික ශෙඩුල් කරලා තියෙනවා.
අපි ලාෆ්ගෑස් සමාගමට නිශ්චිතව දැනුම්දීලා තියෙනවා. පාරිභෝගික අධිකාරියේ නිලධාරින් පෙරේදාත් ගෙනත් කතා කළා. අද ලිඛිතව භාර දුන්නා. පාරිභෝගිකයන් සිලින්ඩර අරගෙන ගෑස් නැති වුණාම ප්රායෝගිකව ප්රශ්නයකට මුහුණ දෙනවා. ඒ නිසා වහාම ගෑස් බෙදාහැරීමේ කටයුතු කරන්න. අපි දැනගත්ත ආකාරයට 25 වැනිදා තමයි ගෑස් ටික එන්න තියෙන්නේ.”








Leave a Reply