ඩුබායි ගුවන් තොටුපොල අහසේ පිපිරීමක්
ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ඉහළ අහසේ අද (07) දහවල් පිපිරීමක් සිදුව තිබෙනවා.
එම පිපිරීමෙන් පසුව ගුවන්තොටුපොළ ඉහළ අහසේ දුමාරයක් ඇති වූ බවද වාර්තා වනවා.
‘Flightradar24’ වෙබ් අඩවිය වාර්තා කළේ පිපිරීම සමඟ ගුවන් යානා ගොඩ බෑමට නොහැකිව ගුවන්තොටුපොළට ඉහළ අහසේ රැඳී සිටි බවයි.
මේ අතර පිපිරිම සම්බන්ධයෙන් ඩුබායි මාධ්‍ය කාර්යාලය විශේෂ X සටහනයක් යොදා තිබෙනවා.
එහිදී ඔවුන් සඳහන් කර ඇත්තේ අදාළ පිපිරිම සුළු පිපිරීමක් බවයි.
කෙසේ වෙතත් වැඩිදුර තොරතුරු හෙළි නොකරන එම කාර්යාලය ගුවන්තොටුපොළ සම්බන්ධව පැතිර යන වාර්තා ප්‍රතික්ෂේප කර තිබෙනවා.
කටාර් ගුවන් කලාපය ගැන තීන්දුවක් ගනී?
සීමිත ගුවන් ගමන් වාර ගණනක් සඳහා කටාර් ගුවන් කලාපය අර්ධ වශයෙන් විවෘත කිරීමට කටාර් රාජ්‍යය තීරණය කර තිබෙනවා.
ඔවුන් පවසන්නේ යුද්ධය ආරම්භ වී සතියකට පසු පළමු වරට සීමිති ගුවන් ගමන් ගණනක් නැවත ආරම්භ කරන බවයි.
මෙලෙස ගුවන් කලාපය විවෘත වන්නේ අත්‍යාවශ්‍ය භාණ්ඩ ප්‍රවාහන ගුවන් ගමන් සඳහා පමණක් බවද එරට ගුවන් අධිකාරිය පවසනවා.
මේ අතර කටාර් රාජ්‍යයේ ප්‍රමුඛ ජාත්‍යන්තර ගුවන්තොටුපොළක් වන හමාඩ් ගුවන් තොටුපොල පරිපාලනය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම නිවේදනයන් පෙන්වා දී ඇත්තේ ඉදිරි දිනවලදී ගුවන්ගමන් ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගෙන සෙසු ගුවන්ගමන් සඳහා තීරණයක් ගන්නා බවයි.
ඉරානයට එල්ලවන ප්‍රහාරවලට ලන්ඩනයේ විරෝධතා
ඉරානයට එල්ල වන අමෙරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාරවලට විරෝධය පළකරමින් දහස් ගණන් විරෝධතාකරුවන් පිරිසක් ලන්ඩන් නුවර පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය දෙසට ගමන් කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
බොහෝ පිරිසක් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විවේචනය කරමින් සටන් පාඨ කියමින් සහ පුවරු ප්‍රදර්ශනය කරමින් මෙලෙස විරෝධතාවයේ නිරත වන බව සඳහන්.
මෙහි සංවිධායකයන් ප්‍රකාශ කරන්නේ මෙට ඉරාන පාලන තන්ත්‍රයට සහාය දැක්වීම සඳහා පවත්වන විරෝධතාවක් නොවන බවයි.
අද දින ඉරානයට ඉතා දරුණු ලෙස පහර දෙනවා – ට්‍රම්ප්ගෙන් ඉරානයට අනතුරු ඇඟවීම්
ඉරානයට අද (07) දිනය තුළදී ඉතා දරුණු ප්‍රහාර එල්ල කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා තිබෙනවා.
ඔහු මෙම අනතුරු ඇඟවීම සිදුකර ඇත්තේ ඉරාන ජනාධිපතිවරයා මීට පෙර කළ ප්‍රකාශයන්ට ප්‍රතිචාර ලෙසයි.
එහිදී ට්‍රම්ප් සඳහන් කරන්නේ “ඉරානය තම මැදපෙරදිග අසල්වැසියන්ගෙන් සමාව අයැද යටත් වී ඇත, මින් ඉදිරියට ඔවුන්ට වෙඩි නොතබන බවට පොරොන්දු වී ඇත. මෙම පොරොන්දුව ලබා දුන්නේ අමෙරිකාව සහ ඊශ්‍රායලය එල්ල කළ නොපසුබස්නා ප්‍රහාර හේතුවෙන් පමණකි.”
“අද දින ඉරානයට ඉතා දරුණු ලෙස පහර දෙනු ඇති” බවද සිය සටහන අවසානයේ ට්‍රම්ප් පෙන්වා දී තිබෙනවා.
ඔහුගේ සටහනෙන් වැඩිදුරටත් පවසා ඇත්තේ “මෙතෙක් කල් ඉලක්ක කිරීමට සලකා නොබැලූ ප්‍රදේශ සහ පුද්ගල කණ්ඩායම්, සම්පූර්ණයෙන්ම විනාශ කිරීම සහ ස්ථිර මරණය ළඟා කරවීම සඳහා මේ වන විට දැඩි ලෙස සලකා බලමින් පවතිනවා”.
ඉරාන විප්ලවීය බලකායෙන් ට්‍රම්ප්ට අභියෝගයක්
හොර්මූස් සමුද්‍ර සන්ධිය හරහා තෙල් ප්‍රවාහන නෞකා සඳහා ආරක්ෂාව සැපයීමට අමෙරිකානු නාවික හමුදා යාත්‍රා යොදවන ලෙස ඉරාන විප්ලවීය බලකායේ ප්‍රකාශයෙකු විසින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට අභියෝග කර තිබෙනවා.
කෙසේ වෙතත් පසුගියදා අවශ්‍ය වුවහොත් අමෙරිකානු නාවික හමුදා වෙත හොර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන තෙල් ප්‍රවාහන නෞකා සඳහා ආරක්ෂාව සැපයීම ආරම්භ කළ හැකි බවට අමෙරිකානු ජනාධිපතිවරයා පසුගියදා අඟහරුවාදා ප්‍රකාශ කළා.
බහරේනයේ අමෙරිකානු හමුදා කඳවුරකට IRGC බලකායෙන් ප්‍රහාර
ඉරානයේ විප්ලවීය ආරක්ෂක බලකාය විසින් බහරේන් ජුෆෙයාර් ප්‍රදේශයේ පිහිටි අමෙරිකානු හමුදා කඳවුර ඉලක්ක කරමින් මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇති බව වාර්තා වනවා.
අල්ජසීරා පුවත් සේවය පෙන්වා දෙන්නේ මෙම ප්‍රහාරය සඳහා ඝන සහ ද්‍රව ඉන්ධන බලගන්වන ලද මිසයිල භාවිතා කළ බව IRGC බලකාය නිවේදනය කර ඇති බවයි.
මේ ප්‍රහාරය සම්බන්ධයෙන් ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරගාචි විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.
එහිදී ඔහු සඳහන් කර ඇත්තේ ඉරානයේ කෙෂ්ම් දූපතේ පිහිටි ජල පිරිපහදු මධ්‍යස්ථානයකට අමෙරිකාව විසින් එල්ල කරන ලද ප්‍රහාරයකට ප්‍රතිචාරයක් බවයි.
අමෙරිකාව එල්ල මෙම ප්‍රහාරය හේතුවෙන් එම දූපතේ ගම්මාන 30ක ජල සැපයුම බාධාවට ලක්ව ඇති බවද ඉරාන විදේශ අමාත්‍යවරයා සඳහන් කරනවා.
මෙම ප්‍රහාරය සමඟ බහරේනයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් X ඔස්සේ නිවේදනය කර ඇත්තේ ප්‍රදේශයේ ගුවන් අනතුරු ඇඟවීමේ සයිරන් නාද වෙමින් පවතින බවයි.
කුවේට් තෙල් නිෂ්පාදනය අවම කිරීමට තීන්දු කරයි
මධ්‍යම පෙරදිග කලාපයේ උත්සන්න වී ඇති යුද වාතාවරණය සහ හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා නෞකා ගමන් කිරීම සම්බන්ධයෙන් ඉරානයෙන් එල්ල වී ඇති තර්ජනය හමුවේ කුවේට් සිය තෙල් නිෂ්පාදනය සහ පිරිසිදු කිරීමේ කටයුතු අවම කිරීමට පියවර ගෙන තිබෙනවා.
එරට පෙට්‍රෝලියම් කෝපරේෂන් ආයතනය නිවේදනය කළේ මෙය තම අවදානම් කළමනාකරණය සහ ව්‍යාපාර අඛණ්ඩව පැවැත්මේ උපාය මාර්ගයේ කොටසක් ලෙස ගත් පුර්වාරක්ෂක පියවරක් බවයි.
තවද පවතින ආරක්ෂක තත්ත්වය සලකා බලා මෙම තීරණය ගෙන තිබෙනවා.
ඉදිරියේ පවතින තත්තවය අනුව ඉදිරියේ දී මෙය සමාලෝචනය කරන බවද ඔවුන් එම නිවේදනයෙන් පෙන්වා දෙනවා.
එම ආයතනය වැඩිදුරටත් අවධාරණය කරන්නේ තත්ත්වය යහපත් අතට හැරීමෙන් අනතුරුව නිෂ්පාදන මට්ටම් සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට පූර්ණ සුදානමින් සිටින බවත් වෙළෙඳපොලේ ඉන්ධන අවශ්‍යතා කිසිඳු බාධාවකින් තොරව සපුරාලීමට කටයුතු යොදා ඇති බවත්ය.








Leave a Reply