Loading...

මහනුවර ඇසළ පෙරහැර 2026 – පළමු කුඹල් පෙරහැර අද

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර අද (18) රාත්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අද සිට දින 05ක් අඛණ්ඩව කුඹල් පෙරහැර වීථි සංචාරය කිරීමට නියමිත අතර, ලබන 23 වනදා සිට රන්දෝලි පෙරහැර ආරම්භ කිරීමට නියමිතයි.

මෙවර ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර ලබන 27 වනදා රාත්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.

අද රාත්‍රී 6.52ට ශ්‍රී දළදා මාළිගාවෙන් ආරම්භ වන පළමු කුඹල් පෙරහැර දළදා වීදිය, කොළඹ වීදිය, යටිනුවර වීදිය සහ රජ වීදිය ඔස්සේ ගමන් කර යළි ශ්‍රී දළදා මාළිගාවට ගෙවැදීමට නියමිතයි.

මේ අතර, පෙරහැර වෙනුවෙන් මහනුවර නගරයේ විශේෂ ආරක්ෂක සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර ඇති බව පොලීසිය සඳහන් කරනවා.

ඒ අනුව පෙරහැර පැවැත්වෙන කාලසීමාව තුළ රථවාහන ගමනාගමනය සඳහා විකල්ප මාර්ග කිහිපයක් හඳුන්වා දී තිබෙනවා.

කටුගස්තොට දෙසින් මහනුවර නගරයට පැමිණෙන බර වාහන මහයියාව හන්දියෙන් තිලක් රත්නායක මාවත ඔස්සේ පොලිස් හන්දිය හරහා ගමන් කළ හැකි බව පොලීසිය පවසනවා.

සැහැල්ලු වාහන සඳහා ඩී.එස්. සේනානායක වීදිය, හරස් වීදිය සහ යටිනුවර වීදිය ඔස්සේ විකල්ප මාර්ග ලබාදී තිබෙනවා.

තැන්නේකුඹුර සහ අම්පිටිය දෙසින් පැමිණෙන වාහන සඳහා සංඝරාජ මාවත, වේල්ස් පාර්ක් හන්දිය සහ ඇහැලේපොළ කුමාරිහාමි මාවත ඔස්සේ ගමන් කිරීමට හැකියාව පවතිනවා.

එමෙන්ම මහනුවර නගරයේ සිට අම්පිටිය සහ තෙල්දෙණිය දෙසට ගමන් කරන වාහන සඳහාද සංඝරාජ මාවත ඔස්සේ විකල්ප මාර්ග හඳුන්වා දී ඇත.

කොළඹ දෙසින් මහනුවර නගරයට ඇතුළුවීමට සහ නගරයෙන් පිටවීමට විලියම් ගොපල්ලව මාවත සහ පැරණි පේරාදෙණිය පාර භාවිත කළ හැකි බව පොලීසිය සඳහන් කරයි.

ඒ අනුව, පෙරහැර නැරඹීම සඳහා මහනුවරට පැමිණෙන ජනතාව මෙන්ම රියදුරන් ද පොලීසිය විසින් හඳුන්වා දී ඇති රථවාහන සැලැස්මට අනුව කටයුතු කරන ලෙස පොලීසිය ඉල්ලා සිටිනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *