Loading...

ඩෙංගු අවදානම මැද කඩුවෙල කසළ ගැටළුව උග්‍ර වෙයි

කඩුවෙල මහනගර සභා බල ප්‍රදේශයේ මාර්ග අසල ගොඩගැසී ඇති කැළි කසළ ඉවත් කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග මේ වනවිට ක්‍රියාත්මක කරමින් සිටින බව කඩුවෙල මහනගර සභාවේ නගරාධිපති රන්ජන් ජයලාල් මහතා පවසනවා.

කසළ රැගෙන යාම සඳහා සති තුනකට ආසන්න කාලයක් මහනගර සභාවේ සේවාව නොලැබුණු බවට ප්‍රදේශවාසීන් එල්ල කළ චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.

කෙසේ වෙතත් ඩෙංගු රෝගය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින පසුබිමක ප්‍රදේශ රැසක කසළ කළමනාකරණය නිසි පරිදි සිදු නොවීම හේතුවෙන් ජනතාව දැඩි අපහසුතාවකට පත්ව සිටිනවා.

විශේෂයෙන් ඩෙංගු අධි අවදානම් කලාපයක් ලෙස සැලකෙන කොළඹ දිස්ත්‍රික්කයේ කසළ ගොඩගැසීම සහ ඒවා කඩිනමින් ඉවත් නොකිරීම සෞඛ්‍යමය ගැටලුවක් බවට පත්ව ඇති බව ජනතාව පෙන්වා දෙනවා.

මේ අතර සෞඛ්‍ය අංශ නිරන්තරයෙන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ තම පරිසරය පිරිසිදුව තබාගෙන ජලය රැඳෙන ස්ථාන සහ මදුරු බෝවිය හැකි ස්ථාන විනාශ කරන ලෙසයි.

කෙසේ වෙතත් නිවාස හා ගෙවතු පිරිසිදු කිරීම ජනතාවට කළ හැකි වුවද මහා පරිමාණයෙන් රැස්වන කසළ ඉවත් කිරීමේ වගකීම පළාත් පාලන ආයතන සතු බව ජනතාව අවධාරණය කරනවා.

පවතින වැසි සහිත කාලගුණයත් සමඟ ඇතැම් ප්‍රදේශවල කැළි කසළ වැසි ජලය සමඟ එක්වීමෙන් ඩෙංගු මදුරුවන් බෝවීමට හිතකර පරිසරයක් නිර්මාණය විය හැකි බවට ද සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *