Loading...

මිද්දෙණියෙන් හමුවූ රසායන ද්‍රව්‍ය සාම්පල 20න් 17කම අයිස් රසායන ද්‍රව්‍ය ඇති බව හෙළි වෙයි

මිද්දෙනිය ප්‍රදේශයේ ඉඩමෙන් ලබාගත් රසායනික ද්‍රව්‍ය සාම්පල 20න් 17කම අයිස් මත්ද්‍රව්‍ය සෑදීමට යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය අන්තර්ගත බවට අනාවරණය වී තිබෙනවා.

ඒ බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය විසින් සිදුකළ පරීක්ෂණවලදී අදාළ අනාවරණය සිදුව ඇති බව වාර්තා වනවා.

කෙහෙල්බද්දර පද්මේ හා කුඩු නිලංග මෙරට තුළ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමට භාවිත කරන බව කියන රසායනික ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 50000ක් පමණ බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය මිද්දෙනිය ප්‍රදේශයෙන් පසුගිය සැප්තැම්බර් 06 වනදා සොයා ගනු ලැබුවා.

කෙහෙල්බද්දර පද්මේ සමඟ ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගනු ලැබූ බැකෝ සමන් නැමැත්තාගෙන් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය කළ ප්‍රශ්න කිරීම්වලින් අනාවරණය කරගත් තොරතුරු මතයි.

බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතාගේ සහ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා මහතාගේ මෙහෙයවීම යටතේ මෙම කරුණු අනාවරණය කරගෙන තිබුණා.

පසුව අදාළ රසායනික ද්‍රව්‍ය සාම්පල පරීක්ෂණ කටයුතු සඳහා අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයට සහ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට යොමු කරනු ලැබුවා.

මේ අනුව අදාළ සාම්පල පිළිබඳව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ වාර්තාව පසුගිය සිකුරාදා පොලීසියට භාරදී ඇති බව වාර්තා වනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *