Loading...

ඉරානයේ නව උත්තරීතර නායකයා තේරී පත්වෙයි

අමෙරිකානු ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ඝාතනයට ලක්වූ අයතුල්ලා අලි කමේනිගෙන් පසුව ඉරානයේ මීළඟ උත්තරීතර නායකයා ලෙස ඔහුගේ දෙවන පුත්‍රයා වන Mojtaba Khamenei තේරී පත්ව තිබෙනවා.

1969 සැප්තැම්බර් 8 වනදා දින ඊසාන දිග මෂාඩ් නගරයේ උපත ලබා ඇති මොප්ටාබා කමේනි දරුවන් හය දෙනාගේ දෙවැන්නා වන අතර ඔහු ටෙහෙරානයේ ආගමික අලවි පාසලෙන් ද්විතීය අධ්‍යාපනය ලබා ඇති බව වාර්තා වනවා.

වයස අවුරුදු 17ක් වන විට ඔහු ඉරාන – ඉරාක යුද්ධය අතරවාරයේ කෙටි කාලයක් එරට යුද හමුදාවේ ද සේවය කර තිබෙනවා.

1999 වසරේ සිය ආගමික අධ්‍යාපන කටයුතු සිදු කරගෙන යාම සඳහා ෂියා දේව ධර්මයේ වැදගත් මධ්‍යස්ථානයක් ලෙස සැලකෙන ශුද්ධ නගරයක් වන කොම් වෙත ගොස් ඇති බව වාර්තා වනවා.

නව ඉරාන උත්තරීතර නායකයා නිහඬ චරිතයක් බවත් ඔහු කිසි දිනක රජයේ තනතුරු කිසිවක් දරා නොමැති බවත් විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.

තවද Mojtaba Khamenei ප්‍රසිද්ධ කථා හෝ සම්මුඛ සාකච්ඡා ලබාදී නොමැති අතර ඔහුගේ ඡායාරූප සහ වීඩියෝ ද සීමිත ගණනක් ප්‍රකාශයට පත්ව ඇති බව සඳහන්.

කෙසේ වෙතත් වසර ගණනාවක් පුරා ඉරානය තුළ තිරය පිටුපස ඔහු සැලකිය යුතු බලපෑමක් සිදුකර ඇති අයෙක් ලෙස සැලකෙනවා.

පසුගිය මස 28 වනදා ඊශ්‍රායල අමෙරිකා ප්‍රහාරයකින් ඔහුගේ පියා වන ඉරාන ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි ඝාතනය කෙරුණා.

ඉරාන මාධ්‍ය වාර්තා කළේ එම ප්‍රහාරයෙන් අලි කමේනිට අමතරව ඔහුගේ බිරිඳ, දියණිය, බෑණා සහ මුණුපුරා ද ඝාතනය වූ බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *