Loading...

බොරතෙල් බැරලයක මිල ඩොලර් 200 දක්වා ඉහළ යන බව ඉරානයෙන් අනතුරු ඇඟවීම්

G7 රටවල් තෙල් සංචිත මුදා හැරීමට එකඟවෙයි

මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය සමඟ ලෝක වෙළෙඳපොලේ සීඝ්‍රයෙන් ඉහළ යන තෙල් මිල පාලනය කිරීම සඳහා සිය උපායමාර්ගික තෙල් සංචිත මුදා හැරීමට G7 රටවල් එකඟතාව පළකර ඇති බව වාර්තා වනවා.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ලෝක වෙළෙඳපොලේ සීඝ්‍රයෙන් ඉහළ යන තෙල් මිල පාලනය කිරීම සඳහා සිය උපායමාර්ගික තෙල් සංචිත උදා හැරීමට G7 රටවල් එකඟතාව පළකර ඇති බවයි.

ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය සමඟ මේ සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවකින් පසුව ඉතිහාසයේ වාර්තා වන විශාලතම තෙල් සංචිත ප්‍රමාණය වෙළෙඳපොලට මුදා හැරීමට සුදානම් වන බව වාර්තා වනවා.

ලොව සමස්ථ තෙල් සැපයුමෙන් පහෙන් එකක් ප්‍රවාහනය කෙරෙන වැදගත් මාවතක් වන හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන තෙල් අපනයනය මැදපෙරදිග ගැටුම් හේතුවෙන් සම්පුර්ණයෙන්ම පාහේ අඩාල වී තිබෙනවා.

මෙම තත්ත්වය මිල ඉහළ යාමට ප්‍රධානතම හේතුව වී ඇත.

මේ අනුව ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය තෙල් බැරල් මිලියන 300ක් 400ක් දක්වා ප්‍රමාණයක් මුදා හැරීමට සැලසුම් කර ඇති බව වාර්තා වනවා.

මෙය 2022 වසරේ රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කළ මොහොතේ මුදා හැරී ප්‍රමාණය මෙන් දෙගුණයකටත් වැඩි අගයක් ලෙස සැලකෙනවා.

මෙම පියවර කෙටි කාලීන විසඳුමක් පමණක් වනු ඇති බවද බලශක්ති විශේෂඥයින් පෙන්වා දෙනවා.

මෙම මුදා හැරීමට නියමිත ප්‍රමාණය ලෝකයේ දින 3ක් හෝ 4ක සමස්ථ පරිභෝජනයට පමණක් ප්‍රමාණවත් බව සඳහන්.

ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියේ සාමාජික රටවල් සියල්ලම අවම ලෙස දින 90කට සෑහෙන තෙල් සංචිතයක් පවත්වාගෙන යාම අනිවාර්ය වනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ තෙල් සංචිත මුදා හැරීමේ පුවත සමඟ දැනට වෙළෙඳපොලේ මිල යම්තාක් දුරකට ස්ථාවර වී ඇති බවක් පෙනෙන්නට තිබුණත් පිරිපහදු කිරීමේ ධාරිතාව සීමිත වීම ඉදිරියේ දී තවත් ගැටළුවක් විය හැකි බවයි.


බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 200 දක්වා ඉහළ යන බව ඉරානයෙන් අනතුරු ඇඟවීම්

මැදපෙරදිග කලාපයේ පවතින දරුණු යුද වාතාවරණය හමුවේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 200 දක්වා ඉහළ යා හැකි බව ඉරාන හමුදා බලධාරීන් අනතුරු අඟවා තිබෙනවා.

රොයිටර් පුවත් සේවය වාර්තා කරන්නේ අද (11) දිනයේ දී හෝමූස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව තවත් නෞකා තුනක් ප්‍රහාරයට ලක් වීම සමඟ මෙම තත්ත්වය උද්ගත වී ඇති බවයි.

පෙන්ටන්ගනය විසින් වඩාත්ම තීව්‍ර අමෙරිකානු ඊශ්‍රායල ප්‍රහාර ලෙස හඳුන්වනු ලැබූ ප්‍රහාර මාලාවකට මුහුණ දෙමින් සිටියද තමන් තවදුරටත් ප්‍රතිප්‍රහාර එල්ල කළ හැකි බවත් ඉන් බලශක්ති සැපයුම අඩාල කළ හැකි බවත් ඉරානය පෙන්වා දී තිබෙනවා.

මේ අනුව අද (11) දිනයේ දී ඉරානය විසින් ඊශ්‍රායලය ඇතුළු මැදපෙරදිග පුරා විහිදුණු ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කර ඇති බව වාර්තා වනවා.

ලෝක තෙල් සැපයුමෙන් පහෙන් එකක් ගමන් කරන හෝමූස් සමුද්‍ර සන්ධිය මේ වන විට අවහිර වී තිබෙනවා.

මෙය 1970 දශකයේ ඇති වූ තෙල් අර්බුදයෙන් පසු ලොව මුහුණ දෙන දරුණුතම බලශක්ති සැපයුම් බාධාව ලෙස සැලකෙනවා.

මේ අතර ඉරාන හමුදා විධානයේ ප්‍රකාශක ඊබ්‍රාහිම් සොල්ෆකාරි අමෙරිකාව අමතමින් පැවසුවේ “තෙල් බැරලයක මිල ඩොලර් 200 දක්වා ඉහළ යාමට සූදානම් වන්න. මන්ද තෙල් මිල තීරණය වන්නේ ඔබ විසින් අස්ථාවර කර ඇති කලාපීය ආරක්ෂාව මතයි”.

ටෙහෙරාන් නුවර බැංකු කාර්යාලයකට එල්ල වූ ප්‍රහාරයකට ප්‍රතිචාර වශයෙන් අමෙරිකාව හෝ ඊශ්‍රායලය සමඟ ගනුදෙනු කරන බැංකු වෙත ඉරානය ප්‍රහාර එල්ල කරන බවද ඔහු අනතුරු අඟවනු ලැබුවා.

ඉරාන හමුදා ප්‍රකාශකයා පවසන්නේ මේ හේතුවෙන් මැදපෙරදිග වෙසෙන ජනතාව එවැනි බැංකු පද්ධතිවලින් අවම වශයෙන් මීටර් 1000ක් දුරින් සිටිය යුතු බවයි.

පවතින උණුසුම් තත්තවය හමුවේ වුවත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම යුද්ධය අවසන් කිරීමට කඩිනම් විසඳුමක් සොයාගනු ඇතැයි යන බලාපොරොත්තුව මත වෙළෙඳපොළ යම් ස්ථාවරයක් පෙන්නුම් කරන බවද විදෙස් වාර්තා පෙන්වා දෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *