Loading...

ඉන්දීය උප ජනාධිපති ජනපති අනුර සහ අගමැති හරිනිව හමුවෙයි

දෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඉන්දීය උප ජනාධිපති සී.පී. රාධක්‍රිෂ්ණන් මහතා, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී සාකච්ඡා පවත්වා තිබේ.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, මෙම හමුව කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදුව ඇති බවයි.

එහිදී ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර දිගුකාලීන ඓතිහාසික සහ සංස්කෘතික සබඳතා පිළිබඳව ගැඹුරු ලෙස අවධානය යොමු කර ඇති අතර, දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් ද සාකච්ඡා කර තිබෙනවා.

ඉන්දීය නිවාස ව්‍යාපෘති සහ දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ප්‍රදේශ සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 450ක මූල්‍ය පැකේජය යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘති පිළිබඳව ද මෙහිදී අදහස් හුවමාරු කර ගෙන ඇති බව සඳහන්.

මේ අතර, උප ජනාධිපති සී.පී. රාධක්‍රිෂ්ණන් මහතා අද (19) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය හමුවී ද සාකච්ඡා පවත්වා තිබෙනවා.

එහිදී දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා සහ ජනතා මට්ටමේ අන්‍යෝන්‍ය සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම පිළිබඳව අවධානය යොමු කර ඇති බව සඳහන්.

අග්‍රාමාත්‍යවරිය විසින් සංවිධානය කළ දිවා භෝජන සංග්‍රහය අතරතුර, දෙරට සතු පොදු ශිෂ්ටාචාරමය උරුමයන් පිළිබඳව ද අදහස් හුවමාරු කර ගෙන ඇති බව වාර්තා වනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *