2025 ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලිය සඳහා ක්‍රීඩා කිරීම සඳහා ඉන්දීය කණ්ඩායම පාකිස්ථානයේ සංචාරය නොකරන බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත දැනුම් දී තිබෙනවා.
එම පාලක මණ්ඩලය ICC වෙත සඳහන් කරන්නේ ඉන්දීය කණ්ඩායම පාකිස්ථානය වෙත යැවීමෙන් වළකින ලෙසට ඉන්දීය රජය විසින් තමන්ට දැනුම් දී ඇති බවයි.
රටවල් 8ක් ක්‍රීඩා කරන ශූරයින්ගේ කුසලාන තරඟාවලිය 2025 පෙබරවාරි 19 වනදා සිට මාර්තු 9 වනදා දක්වා පාකිස්ථානනයේ ක්‍රීඩාංගණ 3කදී පැවැත්වීමට සැලසුම් කර ඇති අතර තරඟාවලියේ කාලසටහන ලබන සතියේ දී නිවේදනය කිරීමට නියමිතව තිබෙනවා.
කෙසේ නමුත් පවතින තත්ත්වය මත කාලසටහන නිවේදනය කිරීම ද ප්‍රමාද වනු ඇති බව සඳහන්.
මේ අතර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය හා පාකිස්ථාන ක්‍රිකට් ආයතනය ශූරයන්ගේ තරඟාවලිය පැවැත්වීම පිළිබඳව වෙනත් සැලසුමක් ක්‍රියාත්මක කිරීම සැලසුම් කර තිබෙනවා.
ඒ අනුව තරඟාවලිය පාකිස්ථානයේ දී හෝ වෙනත් රටකදී දෙමුහුන් අයුරින් පැවැත්වීම සම්බන්ධව අවධානය යොමු කිරීමට බොහෝ දුරට ඉඩක් තිබුණත් පාකිස්ථාන ක්‍රිකට් ආයතනයේ සභාපති Mohsin Naqvi මහතා ඊයේ (09) කියා සිටියේ තරඟාවලිය රටවල් දෙකකදී පැවැත්වීමට සිය ආයතයන සුදානම් නොමැති බවයි.
තරඟාවලිය රටවල් දෙකකදී පැවැත්වීමට සිදු වුවහොත් දෙවන රට ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍ය හෝ ශ්‍රී ලංකාව තෝරා ගනු ඇති බව ක්‍රීක්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා පෙන්වා දෙනවා.
පාකිස්ථාන ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා සඳහන් කළේ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සිය තීරණය පිළිබඳව පළමුව ලිඛිතව සිය ආයතනයට දැනුම් දිය බවයි.
ඉන් අනතුරුව සිය රජය සමඟ සාකච්ඡා කර ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු සඳහන් කළා.
Mohsin Naqvi වැඩිදුරටත් පෙන්වා දෙන්නේ පාකිස්ථානය පසුගිය වසරවලදී ඉන්දියාවට යහපත් ප්‍රතිචාර දක්වා සිටි නමුත් සැමවිටම පාකිස්ථානයෙන් එවැනි යහපත් ප්‍රතිචාර බලාපොරොත්තු නොවන ලෙසයි.
2008 වසරෙන් පසුව මේ දක්වා ඉන්දීය කණ්ඩායම පාකිස්ථානයේ තරඟ සංචාරයක නිරත වී නොමැති අතර පාකිස්ථානය 2023 වසරේ ඉන්දියාවේ දී පැවැති එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය ඇතුළු තරඟාවලි කිහිපයක් සඳහාම ඉන්දියාවේ සංචාරය කර තිබුණා.








Leave a Reply