ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ආරක්ෂක, බලශක්ති, ඩිජිටල්කරණය සහ සෞඛ්‍ය යන ක්ෂේත්‍රවලට අදාළව අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීම අද (05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු වුණා.
මෙරටට පැමිණ සිටින ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පිළිගැනීමේ නිල උත්සවය අද (05) පෙරවරුවේ කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී පැවැත්වුණා.
ඉන්පසුව අග්‍රාමාත්‍යවරයා ජනාධිපති කාර්යාලයට පැමිණි අතර මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉන්දීය අග්‍රාමත්‍යවරයා ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබුවා.
දෙරටේ නායකයින් ද්වී පාර්ශවික සාකච්ඡාවලට ඉන්පසුව ජනාධිපති ලේකම් කාර්යාලයේ දී එක්වුණා.
මෙම සාකච්ඡාවලින් පසුව අවබෝධතා ගිවිසුම් අත්සන් තැබීම සහ ඉන්දු ශ්‍රී ලංකා ඒකාබද්ධ මාධ්‍ය හමුව ආරම්භ කෙරුණා.
එහිදී අත්සන් තබන ලද අවබෝධතා ගිවිසුම් හුවමාරු කරගැනීම සිදු වුණා.
ඉන්පසුව ඉන්දියාවේ සහයෝගයෙන් ඉදි කෙරෙන සාම්පූර් සුර්ය විදුලි බලාගාර ව්‍යාපෘතියේ පළමු අදියර ආරම්භ කිරීම දෙරටේ රාජ්‍ය නායකයින් මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදු කරනු ලැබුවා.
මේ අතර මෙරට ආගමික ස්ථාන 5000ක වහල මත සවි කෙරුණු සුර්ය පැනල ව්‍යාපෘතිය විවෘත කිරීමට ද නායකයින් දෙපළ මාර්ගගත ක්‍රමයේ ඔස්සේ එක්වුණා.
තවද උෂ්ණත්වය සහ ආර්ද්‍රතාවය පාලනය කළ හැකි ලෙස දඹුල්ලේ ඉදි කෙරුණු ශීතාගාර සහිත කෘෂි ගබඩා සංකීර්ණය ද අගමැති මෝදි මහතා සහ ජනාධිපතිවරයා මහතා විවෘත කරනු ලැබුවා.
මේ අතර මෙරට ඉන්දීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ ගිවිසුම් හුවමාරු කර ගැනීම සිදු කෙරුණා.
මෙහිදී විදෙස් නායකයෙකු වෙනුවෙන් මෙරටින් පිරිනමන ඉහළම සම්මානය වන ‘මිත්‍ර විභූෂණ’ සම්මානය ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත පිරිනැමීම ද ජනාධිපති අනුර කුමාර දිසානායක අතින් සිදු වුණා.
අවබෝධතා ගිවිසුම් හුවමාරු කර ගැනීමේ අවස්ථාවෙන් අනතුරුව දෙරටේ නායකයින් ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වූ අතර එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා,
“විදෙස් ප්‍රතිපත්තිය අපේ මාර්ග සිතියම වෙනවා. මීට ටික වේලාවකට ප්‍රථම අපි ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වුවා. අපේ ද්වීපාර්ශ්ව සාකච්ඡාවල වත්මන් තත්ත්වය පුළුල්ව සමාලෝචනය කළ අපි, අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍රවල අපගේ සබඳතා තවදුරටත් ශක්තිමත් කරගන්නා ආකාරය ගැන අදහස් හුවමාරු කරගත්තා.
මෙරට ආර්ථිකය යළි ප්‍රතිසංස්කරණය කිරීම වර්ධනය හා ස්ථාවරත්වයට ලබාදුන් අඛණ්ඩ සහයෝගය වෙනුවෙන් මා අගමැති මෝදි මහතාට සහ ඉන්දීය රජයට ස්තූතිය පළ කළා.
අසල්වැසියා පළමුව යන ඉන්දියාවේ විදෙස් ප්‍රතිපත්ති රාමුවට අනුකූලව අපේ රටේ ආර්ථික ක්‍රියාවලිය සහ තිරසර ආර්ථික තත්ත්වයට ඉන්දියාව දක්වන කැපවීම සහ සහයෝගයට මෝදි අගමැතිවරයාට මම ස්තූතිවන්ත වෙනවා.
දෙරට අතර දැනටමත් පවතින විශිෂ්ට ආරක්ෂිත සහයෝගීතාව තවදුරටත් වර්ධනය කරගැනීම පිළිබඳව විස්තරාත්මකව සාකච්ඡා කළ අතර ඉන්දියාවේ ආරක්ෂාව මෙන්ම කලාපයේ ආරක්ෂාවට හානිදායකවන කිසිදු කාර්යකට ශ්‍රී ලංකා භූමිය භාවිත කිරීම ඉඩ නොදීමේ ස්ථාවරය මා නැවත තහවුරු කළා”.
මේ අතර ජනාධිපතිවරයා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර ද්වී පාර්ශවික සාකච්ඡා අවසන් වීමෙන් පසුව දෙරටේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේ දී පවත්වා තිබෙනවා.
ඒ සඳහා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඇතුළු පිරිසක් සහ ඉන්දීය රජය වෙනුවෙන් එරට විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් ඇතුළු පිරිසක් එක්ව සිටියා.
Leave a Reply