රහස් පොලීසිය කප්පම් ඉල්ලු බවට පවසමින් රහස් ප්‍රකාශයක් කිරීමට අවසර ඉල්ලා සිටි සැකකාර අවුරා ලංකා සමාගමේ සභාපති වෛද්‍ය විරංජිත් තාඹුගල මහතා පැය 3ක ප්‍රකාශයක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරාජ මහත්මියගේ නිල මැදිරියේ දී අද (24) ලබා දුන්නා.
සැකකරු විශේෂ මෝසමක් ඉදිරිපත් කරමින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මෙලෙස රහස් ප්‍රකාශයක් ලබාදීමට මහේස්ත්‍රාත්වරිය අද (24) උදෑසන අවසර ලබා දෙනු ලැබුවා.
හෙලිකොප්ටරයක් ලබා ගැනීම සඳහා මුදල් තබාගෙන රුපියල් මිලියන 70ක් වංචා කළ බවට රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇප මත මුදා හැර ඇති සැකකරු රහස් පොලිස් නිලධාරීන් තමාගෙන් රුපියල් කෝටි 30ක මුදලක් ඉල්ලා සිටි බවට සඳහන් කරමින් කප්පම් චෝදනාවක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය ඉදිරිය හමුවේ පසුගිය 27 වනදා කරුණු ඉදිරිපත් කළා.
සැකකාර තාඹුගල මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උපාලි ජයමාන්න මහතා අද (24) උදෑසන අධිකරණය ඉදිරියේ කරුණු දක්වමින් ප්‍රකාශ කළේ සැකකරුට ජීවිත තර්ජනයක් ඇති බවයි.
මහේස්ත්‍රාත් අධිකරණය පරිශ්‍රයේ දී ද පවා එම තර්ජන ඇති බවද නීතිඥවරයා කරුණු දක්වමින් සඳහන් කළා.
මේ හේතුවෙන් අදාළ ප්‍රකාශය රහස් ප්‍රකාශයක් ලෙස ලබාදීමට අවසර දෙන ලෙස ඉල්ලා සිටියා.
සැකකරුට ජීවිත තර්ජනයක් ඇත්නම් ඊට නිත්‍යානුකූලව පියවර ගත යුතු බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරිය අදාළ රහස් ප්‍රකාශය ලබාදීමට අවසර ලබාදෙනු ලැබුවා.
මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධිකරණයේ පෙනී සිටි අතර අදාළ ප්‍රකාශය ලබාදීම පිළිබඳව පොලීසියේ විරුද්ධත්වයක් නොමැති බවද සඳහන් කළා.
Leave a Reply